ගාල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ගොඩනැගිලි හතරක් අගමැති ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට

Share

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් ජනතා අයිතියට පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) සිදු කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධ මහතාගේ මෙහෙයවීමෙන් අක්මිමණ, හබරාදුව, හික්කඩුව හා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙනුවෙන් මෙම ගොඩනැගිලි තුන ඉදිකර ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිව් මහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 683ක වියදමින් ඉදිකරන ලද බවයි. 2016 ඔක්තෝබර් මස 08 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 480ක් වැය කර ඇති අතර ඒ සඳහා මුල්ගල් තබා ඇත්තේ ද 2016 ඔක්තෝබර් මස 08 වැනි දිනදී ය.

2016 සැප්තැම්බර් මස 09 වැනි දින මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කරන ලද අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 458කි.

ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර ඒ සඳහා අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 510කි. මෙම ගොඩනැගිල්ල 2017 ජනවාරි මස 09 වැනි දින ඉදිකිරීම් ආරම්භ කර තිබිණි.

Read more

Local News