දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිතා නොකළ යුතුයි – එය කිසිසේත් සදාචාරාත්මක නොවෙයි

29

කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට ඉදිකර තිබෙන වයඹ රණ අභිමන් රණවිරු ස්මාරකය ඊයේ (11) පස්වරුවේ විවෘත කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ, 

කිසියම් දේශපාලන පක්ෂයක් විසින් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිතා  කරන්නේනම් එය කිසිසේත් සදාචාරාත්මක නොවන බවයි.

රණවිරු අභිමානය සුරැකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා අභිමානවත් සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පූර්ණ ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබේ.

 

මෙය ඉදි කිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි. මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.

 

ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිඳ හෙළන්නට පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි.

 

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය  කටයුතු නොකළ බවයි.

 

එබැවින් රණවිරුවන් පිළිබඳ රජයට තිබෙන සියලූ චෝදනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම සියලූ චෝදනා කුමන්ත‍්‍රණකාරී ලෙස රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන බව ද කියා සිටියේය.

 

රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළ ද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදුකළේ පසුගිය රජය විසින් බවත් වත්මන් රජය විසින් අන්තර්ජාතික සහයෝගීතාවය තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිමයෙන් කටයුතු කළ බවත් සඳහන් කළ ජනාධිපතිතුමා එදා දේශපාලන වේදිකාවේ කථා කළ විදුලි පුටුවෙන් මෙන්ම අපගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නඩු ඇසීමට විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම නවතා දැමුවේ වත්මන් රජය බව අමතක නොකළ යුතු බවද කියා සිටියේය.

 

හමුදාවේ සිටි ඇතැමුන් වෙනත් යම් යම් සිදුවීම පිළිබඳව ද පරික්ෂණ පැවැත්වීම සඳහා අත්අඩංගුවට ගැනීමට සිදුවුවද එය රණවිරු දඩයමක් නොවන අතර රට ජාතිය වෙනුවෙන් යුද වැදුනු කිසිදු රණවිරුවෙකුට කිසිදු හානියක් සිදුකර නොමැති බවත් ඔවුන්ට ලබාදිය හැකි ඉහළ ගෞරවය ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.