විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගත යුතුයි – අගමැති

බම්බලපිටිය, මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මහල් අටකින් යුතු ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ,

සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට නම් අපේ ශ්‍රම බලකාය උගත් පුද්ගලයින්ගෙන් යුක්ත විය යුතුයි. මේ නිසා රැකියාවල නිරත වීමට වැඩි වශයෙන් කාන්තාවන් යොමු කරවීම අත්‍යවශ්‍යයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගත යුතු බවයි.

බම්බලපිටිය මුස්ලිම් බාලිකා විද්‍යාලයේ ඉදිකරන ලද මහල් 8 කින් යුතු ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උළෙලට සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මා දන්නා තරමට මහල් 8 කින් යුතු ගොඩනැගිල්ලක් ඇති එකම පාසල ඔබේ පාසල බව මගේ විශ්වාසයයි. එය ඉතිහාසගත වන වාර්තාවක්. ඒ අවස්ථාව ඔබට ලබාදුන් ගරු කරීම් මහතා සහ එතුමාගේ පවුලේ සාමාජිකයින්ටත්, මැලිබන් ඇගලූම් කර්මාන්ත ආයතනයටත්, අනෙකුත් දානපතීන්ටත් ඔවුන් දැක්වූ නොමසුරු දායකත්වය සහ අනුග්‍රහය වෙනුවෙන් අපි ස්තූතිවන්ත විය යුතුයි.

මේ ගොඩනැගිල්ල ඔබට ලැබුණු වරප්‍රසාදයක්. එහි පහසුකම් වගේම එහි ඇති අසමසම නිර්මාණ ශෛලිය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුස්ලිම් බාලිකා විද්‍යාලයක් ලෙස ඔබ පාසල තවත් ඉහළට ඔසවා තැබීමක් ලෙසයි මා දකින්නේ. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමක් ලෙස මෙය හඳුන්වන්නට පුලූවන්.

මීට වසර 100 කට පමණ ඉහත දී අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නිවසින් පිටතට ගියේ මුස්ලිම් කාන්තාවන් ඉතා සුළු පිරිසක් පමණයි. 20 වැනි සියවසේ දී නගරවල පාසල් පැවතියත් ඉතා සුළු සංඛ්‍යාවක් පමණයි ගම්බද ප්‍රදේශවල පාසල් තිබුණේ සුළු සංඛ්‍යාවක්. මුස්ලිම් ගැහුණු දරුවන් පාසල් ගියේ වසර කිහිපයක් පමණයි. තවත් කෙනෙක් පාසල් ගියේම නැති තරම්.

අපේ රටේ කාන්තාවන් පාසල් යාමට පටන් ගත්තේ 1920 – 30 කාලයෙන් පසුවයි. අපිට සර්වජන ඡන්ද බලය හිමි වන කාලය වන විට රටේ වැඩි දෙනෙක්ට ලිවීමේ හෝ කියවීමේ හැකියාව තිබුණේ නැහැ. නමුත් මුළු ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට කාන්තාවන්ගේ සාක්‍ෂරතා අනුපාතය පිරිමින්ට වඩා පහළ අගයක් ගත්තා. කාන්තාවන්ට සාමාන්‍ය දැනීම නැහැ කියලා එයින් කියවෙන්නේ නැහැ. කාන්තාවන් බොහෝ විට ඉගැන්වීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගන්නවා. කොහොම නමුත් එතැන් පටන් තමයි කාන්තා අධ්‍යාපනය රටේ ආරම්භ වෙන්නේ. එසේ ආරම්භ වූ අධ්‍යාපන පහසුකම් කාන්තාවන්ට භුක්තිවිඳීමට ලැබුණේ යම් සීමාවන් සහිතවයි. එනම් ඇතැම් කෙනෙක් පාසල් ගියේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණයි.

අධ්‍යාපනය තමයි ඉතා වැදගත් වන්නේ කියලා ජනතාව අවබෝධ කරගත් වහාම අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවන කාන්තාවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමට පටන් ගත්තා. මේ ජීවිතයේ ඉදිරි ගමන සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව ඔවුන්ට වැටහුණා. ඊට පසු නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වීමත් සමග නොමිලයේ පෙළපොත් ලබාදුන්නා. මම ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවන කාලය වන විට පාසල්වල පිරිමි ළමුන්ට වඩා අධ්‍යාපනය හැදැරුවේ ගැහැණු ළමුන්. ඒ අනුව පැරණි ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වුණා.

අතීතයේ ගුරු වෘත්තියේ නියැලූණෙත් බොහොමයක් පිරිමි පාර්ශ්වයයි. නමුත් පසුකාලීනව එය බහුතරය ගැහැණු පාර්ශ්වය නියැළෙන වෘත්තියක් වුණා. එහෙනම් බලන්න එය වෙනස් වෙමින් යන ආකාරය. අද වන විට එය ඉතා සීඝ්‍ර ලෙස වෙනස් වෙනවා. අද බොහෝමයක් ගැහැණු දරුවන් පාසල් යනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ හදාරණ ගැහැණු දරුවන් සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා.

රටේ ජනගහනය ගත්තත් කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට වඩා වැඩියි. බහුතරයක් අධ්‍යාපනය හදාරන්නේ කාන්තාවන් වුණත් රැකියා නියුක්තිය සලකා බලන විට බොහෝමයක් රැකියාවල නිරත වන්නේ පිරිමි පාර්ශ්වයයි. රැකියා ධූරාවලිය ගත් විට පහළ මට්ටමේ තිබෙන වැවිලි කර්මාන්තය සහ ඇගලූම් කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නිරත වන කාන්තා ප්‍රතිශතය වැඩියි. අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් නුපුහුණු රැකියාවල නිරත වෙනවා. ඔවුන්ගේ සේවය ලබාගන්නේ එම නුපුහුණු රැකියා ආශ්‍රිතවයි. නමුත් එම ධූරවාලියේ ඉහළට යන විට කාන්තාවන් අපට සොයා ගන්නට බැහැ.

කළමනාකරණ මට්ටමේ කාන්තාවන් ඉතා විරලයි. කළමනාකරණ මට්ටමේ තනතුරු දරන කාන්තාවන් සිටින එකම තැන පාසලයි. බහුතරයක් විදුහල්පති, උප විදුහල්පති තනතුරු දරන්නේ කාන්තාවන්. ඒ හා සමානව රජයේ රැකියාවල නියුක්ත වන කාන්තා ප්‍රතිශතයත් ඉහළ අගයක් ගන්නවා. රජයේ සේවයේ මධ්‍යම මට්ටමේ කළමනාකරණ තනතුරු කාන්තාවන් විසින් හොබවනවා. අපිට අවශ්‍ය තව තවත් එම සංඛ්‍යාව ඉහළ දැමීමයි.

අපි මතක තබාගත යුතු කරුණක් නම් අපේ ඒක පුද්ගල ආදායම ඉහළ යන අතර දකුණු ආසියාවේ වැඩිම ඒකපුද්ගල ආදායම ලබන රට අපේ රට බවට පත්වෙනවා. අපිට සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට නම් අපේ ශ්‍රම බලකාය උගත් පුද්ගලයින්ගෙන් යුක්ත විය යුතුයි. නූගත්, නුපුහුණු ශ්‍රම බලකායක් ඇතිව අපිට මියන්මාරය, ඉන්දියාව, බංගලාදේශය හෝ පාකිස්ථානය සමග තරග කරන්න බැහැ. මේ නිසා රැකියාවල නිරත වීමට වැඩි වශයෙන් කාන්තාවන් යොමු කරවීම අත්‍යවශ්‍යයි. මැදි සහ ඉහළ කළමනාකරණ මට්ටම්වල රැකියාවන් සඳහා ඔවුන් දිරිගැන්විය යුතුයි.

මාගේ අමාත්‍යංශය විසින් කාන්තා කටයුතු අමාත්‍යංශයේ සහාය ද ඇතිව ගම්බද ප්‍රදේශවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ ප්‍රදේශවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ අරමුණ වන්නේ දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් කාන්තාවන්ට නිවෙස්වලින් පිට වී රැකියා සඳහා යොමු වීමේ නිදහස ඇති කොට ඔවුන් දිරිගැන්වීමයි. කාන්තා නියෝජනය පහළ මට්ටමේ රැකියාවලට පමණක් ලබානොගෙන මැදි මට්ටමේ වගේම එය තව තවත් ප්‍රවර්ධනය කොට ඉහළ මට්ටම දක්වා ගෙනයාම අපේ අරමුණයි. එවිට කාන්තාවන්ට ඉහළ මට්ටමේ සිට අපේ රටේ සංවර්ධනයට සිය දායකත්වය දැක්විය හැකියි. කාන්තා අධ්‍යාපනය, විශේෂයෙන් මුස්ලිම් ජාතික කාන්තා අධ්‍යාපනය ඉහළ නැංවීමට දායක වෙමින් රටේ ආර්ථික දියුණුවට මග සැලසීම පිළිබඳව මම මුස්ලිම් බාලිකා විද්‍යාලයට ස්තූතිය පළ කර සිටිනවා. තවද මෙම පාසලට දක්වන ලද අනුගහය පිළිබඳව කරීම් මහතාට ද මාගේ ස්තූතිය පළ කරනවා.