රෝග ලක්ෂණ ඇත්නම් විවේක ගත යුතුයි – ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැක

Share

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම මහතා අද (28) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ
උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් බවයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැකි බවත් ඕනැම වසරක මැයි සිට ජූලි දක්වාත්, දෙසැම්බර් සිට ජනවාරි දක්වාත් මෙම රෝග තත්ත්වය පැතිරීම සාමාන්‍ය තත්ත්වයක් බවත් පෙන්වාදෙන වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දකුණු පළාතේ මෙන් ම බස්නාහිර පළාත තුළත් කිසියම් ප්‍රමාණය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවත් පෙන්වා දුනි.
දිවයින පුරා සෑම රෝහලකම මෙම වෛරසය සඳහා අවශ්‍ය තරම් ඖෂධ පවතින බවත් සෑම රෝහලකම ස්වශන රෝගීන් සඳහා වෙනම කොටසක් වෙන් කිරීමට චක්‍රලේඛයක් මගින් දැනුම්දීමට කටයුතු කරන බවත් දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් මෙන් ම දීර්ඝ කාලීන වශයෙන් විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පසුවන්නන් මේ පිළිබඳ ව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් කීය.
ස්වශන රෝග පවතීනම් මුඛ ආවරණ පැළඳිම හරහා සෙසු පුද්ගලයින්ට රෝග කාරක වෛරසය පැතිරීම වැළැක්විය හැකි බවත් තමන්ගේ දරුවන් පිළිබඳ ව මෙන් ම සෙසු දරුවන් ගැනද සිතා රෝගී දරුවන් පාසල් නොයැවීමට කටයුතු කරන ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
2018 වසරේ ජනවාරි සිට කොළඹින් මී උණ රෝගීන් 86ක්, ගම්පහ 99ක්, කළුතර 194ක්, ගාල්ල 101ක්, රත්නපුර 180ක් හා මොණරාල 159 වශයෙන් රෝගීන් 1400ක් වාර්තා වී ඇත.
මේ වන විට මී උණ රෝගීන්ගේ ලොකු වැඩිවීමක් නොමැති බවත් පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගී ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය බවත් පෙන්වා දෙයි.

Read more

Local News