එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

Share

සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය.

නියෝජිත පිරිස එම කමිටුවේ සභාපති McClellen Thornberry, Enrique Cuellar, Vicky Hartzler, Carol Shea-Porter යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් සහ මිත‍්‍රශීලීත්වයෙන් කටයුතු කරන රටක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, ශ‍්‍රී ලංකා හමුදා පුහුණු අවශ්‍යතාවලදී එක්සත් ජනපදයෙන් ලැබෙන සහය විශේෂයෙන් සිහිපත් කළේය.

ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිතර හමුදා පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක වන බවත් එම වැඩසටහන් තවදුරටත් ප‍්‍රවර්ධනය කරමින් ආරක්ෂාව සඳහා තාක්ෂණික දැනුම වැඩි වශයෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයත් පෙන්වා දුන් ජනාධිපතිතුමා, නූතන ලෝකයේ තාක්ෂණයෙන් තොර ආරක්ෂාවක් නොමැති බව ද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගලා එන සැපයුම් මාර්ග පාලනයට එක්සත් ජනපද ආරක්ෂක අංශවල සහය වැදගත් වන බව ද ඒ වෙනුවෙන් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉතා වැදගත් වන බව ද ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමට කැමැත්ත පළ කළ කොන්ග‍්‍රස් කමිටු සාමාජිකයෝ, ශ‍්‍රී ලංකාව ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීම තම රටෙහි ප‍්‍රතිපත්තිය බව සඳහන් කළහ.

Read more

Local News