අධිකරණ ක්ෂේත‍්‍රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් රට තුළ නිර්මාණය නොවිය යුතු බව ජනපති පවසයි

7

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක්වෙමින් ප‍්‍රකාශ කළේ,

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ අධිකරණ ක්ෂේත‍්‍රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් නිර්මාණයවීම කිසිසේත් සුදුසු නොවන බවයි.

අධිකරණ ක්ෂේත‍්‍රයේ පමණක් නොව සියලු ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් වෙත තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක් තුළ තම රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අධිකරණ ක්ෂේත‍්‍රයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල මුහුණදී සිටි වැටුප් විෂමතාවයන් ඇතුළු ගැටලු රැසකට විසදුම් ලබාදීමට පසුගිය වසර තුන තුළ රජය කටයුතු කළ බව ද සඳහන් කළේය.

එමෙන්ම විනිසුරුවරුන්ගේ උසස්වීම් හා ස්ථාන මාරුවීම් පිළිබඳ ඉදිරිපත් කෙරෙන කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සාධාරණ දුක්ගැනවිලි සහ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, සහ මහාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල කමිටුවක් ඒ සඳහා පත් කර එම ඒකකය පවත්වාගෙන යාමට ද යෝජනා කරනු ලැබීය.