දකුණු පළාතේ මේ දිනවල පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වයේ සුළු අඩුවීමක් – අනිල් ජාසිංහ මහතා

Share

අද (04) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ,
සංඛ්‍යා ලේඛනවලට අනුව දකුණු පළාතේ මේ දිනවල පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වයේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවත් මෙම අඩුවීම මේ ආකාරයෙන් ම පවතිනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි.
ඒ අනුව පසුගිය මැයි 22දා කඹුරුපිටිය මූලික රෝහල වෙත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ නව ඇතුළත් කිරීම් 22ක් සිදු ව ඇති අතර ජුනි 01දා එක් ඇතුළත් කිරීමක් පමණක් සිදු ව ඇත. එමෙන් ම මාතර මහ රෝහලෙහි ද මැයි 25දා නව ඇතුළත් කිරීම් 09ක් සිදු ව ඇති අතර ජුනි 01දා එකඳු ඇතුළත් කිරීමක් හෝ සිදු ව නොමැත.
මෙම වෛරස තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පවතින ළඳරු ඇඳන් ප්‍රමාණය වැඩි කිරීම ඇතුළ අවශ්‍ය උපකරණ මිළදීගැනීම වැනි කටයුතු හේතුවෙන් කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන් රුපියල් මිලියන 30ක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෙම වෛරස තත්ත්වය සඳහා ලබාදෙනු ලබන එන්නත සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් තීරණයක් ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවත් එම එන්නත හරහා ප්‍රශස්ථ ප්‍රතිඵල ගැනීමක් ගැන කිව නොහැකි බැවින් එන්නත ගෙන්වීම ගැන තීරණයක් ගැනීමට කටයුතු කරන බවත් එය ගෙන්වීම ප්‍රමාදවන්නේ මුදල් අර්බුධයක් හේතුවෙන් නොවන බවත් මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරුණු පැහැදිලි කරන ලදී.
ලෝකයේ මෙම වෛරසය පැවැති රටවල් එම තත්ත්වය මර්ධනය කරගෙන ඇත්තේ ස්වස්ථතාවය හා සමාජ ආර්ථික දියුණුව මතින් බවත් පෙන්වාදෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රමය පවතින්නේ ජනතා මත බවත් පෙන්වාදුනි.

Read more

Local News