ලෝක වනජීවී සමුළුවක් ලබන වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරයි

Share

ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාඛ විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (CITES) අත්සන් තබා ඇති රටවල් 183ක නියෝජිතයන් 4000ක් පමණ සහභාගී වන මහා සමුළුවක් ලබන වසරේ (2019) මැයි 22 වන දා සිට ජුනි 02 වන දා දක්වා කොළඹදී පැවැත් වීමට කටයුතු කරගෙන යන බව බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වීමට යන මෙම සමුළුවේ දී තර්ජනයට ලක් වී ඇති සතුන් හා ශාඛ වෙළඳාම වළක්වා එම සතුන් හා ශාඛ ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් ඇති කිරිම ගැන වැදගත් තීරණ ගණනාවක් ගැනීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී  පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ජිනීවාහි පිහිටි CITES මහලේකම් කාර්යාලය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී අත්සන් තබා එය ජිනීවා නුවරට යැවීම සඳහා (CITES) හි ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ චන්ද්‍රසේන මාලියද්ද මහතා වෙත භාර දුන්නේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඇමතිවරයා, සම්මුතියේ සාමාජික රටවල ඇමතිවරුන්, ප්‍රභූන්, රාජ්‍ය නිලධාරින්, පරිසරවේදින්, මාධ්‍යවේදින්, රාජ්‍ය නොයන සංවිධාන නියෝජිතයන් ඇතුළු 4000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම සමුළුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට විශාල රුකුලක් වනු ඇතැයි කීය. එමගින් මෙරටට ආයෝජන අවස්ථා වර්ධනය කර ගත හැකි බවද ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

Read more

Local News