ප්‍රවීන මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා නිවේදනයට නව ගමන් මඟක් හෙළිකළ පරිණත මාධ්‍යවේදියෙකි – අගමැති

Share

අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා ලාංකේය නිවේදන කලාව තුළ ඔහුටම ආවේණික සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනගමින්, වෘත්තීය අවකාශයට ඔබ්බෙන් නිවේදනයට නව ගමන් මඟක් හෙළිකළ පරිණත මාධ්‍යවේදියෙක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

හේමනලින් කියූ සැණින් මතකයට නැඟෙන්නේ උද්‍යෝගිමත් සුන්දර සිනාවත්, ළගන්නා සුළු කතාවත්, අපූර්ව ඉදිරිපත් කිරීමේ විලාසයත්ය. ඔහු ලාංකේය නිවේදන කලාව තුළ ඔහුටම ආවේණික සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනගමින්, වෘත්තීය අවකාශයට ඔබ්බෙන් නිවේදනයට නව ගමන් මඟක් හෙළිකළ පරිණත මාධ්‍යවේදියෙකි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු හේමනලින් කරුණාරත්න, මාධ්‍ය ක්ෂේත්‍රයට අත්පොත් තබනුයේ 1983 වසරේදීය. සහකාර වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස රූපවාහිනියට පිවිසි ඔහු මහත් කැපවීමෙන් කටයුතු කරමින් විවිධ වෘත්තීය අත්දැකීම් ලබමින්, මැලේසියාව, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වැනි රටවලදී මාධ්‍ය කලාව විධිමත් ලෙස හදාරමින් පරිණත මාධ්‍යවේදියකු ලෙස ස්වකීය අනන්‍යතාව ගොඩනගා ගත්තේය.

ජාතික රූපවාහිනියේ පසුබිම් කථන සහන නිවේදක, සහකාර වැඩසටහන් නිෂ්පාදක ආදී භූමිකාවල කටයුතු කරමින් වැඩසටහන් අධ්‍යක්ෂ තනතුර දක්වා සාර්ථක ඉදිරි ගමනක් පැමිණි හේමනලින් වඩාත් ජනාදරයට පාත්‍රවන්නේ නිවේදකයකු ලෙසිනි. ඔහු ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කළ නමයයි පහ වැඩසටහන අදත් ප්‍රේක්ෂක මතකයෙන් මැකී නොයන විශේෂාංගයකි. හේමනලින්ගේ සරල, සැහැල්ලූ නමුත් දැනුවත්, වියත් ප්‍රවේශ භූමිකාව රූපවාහිනී තිරයට පරිපූර්ණ අපූර්වත්වයක් එක්කළ බව රහසක් නොවේ.

නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් ස්වකීය නිවේදන ජීවිතයේ අත්දැකීම් සහ විධිමත් හැදෑරීම් මත, නවක නිවේදක නිවේදිකාවන් පුහුණු කිරීම සඳහා හෙරිටේජ් මාධ්‍ය ඇකඩමිය ආරම්භ කළේය. පසුව ඔහු ශ්‍රී ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට ගෙන යාමේ අදිටනින් හෙරිටේජ් රූපවාහිනී නාලිකාව ආරම්භ කර මිය යන තුරුම එහි අධ්‍යක්ෂ ධුරය හෙබවීය.

නමයයි පහ, ආනන්ද රාත්‍රිය, සකි සඳ වැනි වැඩසටහන් සඳහා සම්මානිත වූ හේමනලින් කරුණාරත්නයන්, මේ සියල්ල අභිබවා සහෘද ප්‍රසාදය නමැති සම්මානයෙන් නිරන්තර පිදුම් ලබන්නට තරම් භාග්‍යවන්ත වූයේය. නොසිතන මොහොතක සිදු වූ ඔහුගේ අභාවය ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල හිස්තැනක් ඇති කරවන බව නිසැකය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ හදිසි අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට, ඥාති හිතමිත්‍රාදීන්ට මාගේ බලවත් සංවේගය පළකරමින්, ඒ මහතාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

Read more

Local News