සංහිඳියාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් – සාමයට, සංහිඳියාවට ඇති අභියෝග ජයගැනීමට එක්විය යුතුයි

Share

සාමය සහ සංහිඳියාවට එරෙහිව ඇති අභියෝග ජයගැනීමට සියලුදෙනාම එක්විය යුතු බවත් එය රජයකට හෝ තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නොවන අතර ම සංහිඳියාව යනු ආධ්‍යාත්මික දර්ශනයක් වන අතරම අධ්‍යාත්මය සුවපත් නොවූ සමාජයක් තුළ එය ජයග්‍රහණය කරවීම අභියෝගකාරී වුව ද විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඒ සඳහා උරදීම සියලුදෙනාගේ වගකීමක් බවත් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වීම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් සිදු කරන බවත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එස්. ජයසිංහ මහතා පැවසීය.
සෑම ජාතියක්ම, සෑම ජනකොටසක්ම එකාවන්ව එකතු වී ජාති භේද, ආගම් භේද, කුල භේද ඇතුළු බෙදීම් නොමැතිව රටේ සමගිය සහ සියලුදෙනාගේම යහපැවැත්ම වෙනුවෙන්  ක්‍රියා කිරීම පළමුව වැදගත්  වන බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා දශක තුනක් තිස්සේ පැවති අවිගත් ගැටුම ද ඇතුළුව දිගුකාලීනව පැවති සමාජ හා දේශපාලන අසහනයෙන් ශ්‍රී ලංකාවේ සියලු ම පුරවැසියන්ගේ ජීවිතවලට, ගරුත්වයට හා ආරක්ෂාවට සිදු වූ පීඩාව, හානිය හා විනාශය අති විශාල බවත් පෙන්වාදුනි.
මෙම හේතූන් සැලකිල්ලට ගනිමින්, පසුගිය සිද්ධීන් නැවත සිදු නොවන බවට සහතික කිරීම හා සංහිඳියාව සඳහා අනාගතවාදී මුලාරම්භයන් තුළින් යන දෙආකාර වූ එළඹුමක් සහිත බහු පාර්ශ්වකාරී ක්‍රියාවලියක් සඳහා කැඳවුම් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, භාෂාව හා සංස්කෘතික උරුමයට ඇති අයිතිය ද ඇතුළත්ව මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, ජාතික එක්සත් බව හා විවිධත්වය පිළිගන්නා ප්‍රජා සහජීවනය යන කරුණු මත මෙම සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබෙන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

Read more

Local News