බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරින් 500 දෙනෙකුට ජනපති අතින් ගුරු පත්වීම්

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරින් 500 දෙනෙකුට ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් ඊ‌යේ (07) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවති උත්සවය අමතමින් ප‍්‍රකාශ කළේ,

වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම අද බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, රට හැර යාමේ නිදහසට නීති රීති පනවා වැටකඩුළු බැඳීමට රජය සූදානම් නොමැති නමුත් නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට ඔවුන් හෘද සාක්ෂිය අනුව කැපවිය යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගතුන් වැඩි රටක් ඉතා වේගයෙන් දියුණුව කරා ගමන් කරන බවයි. එබැවින් රටේ සංවර්ධනයත්, ආර්ථික සමෘද්ධියත් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අසීමිත මුදලක් වැය කරමින් ඒ වෙනුවෙන් සීමාවකින් තොරව පහසුකම් ලබාදීමට රජය කටයුතු කරද්දි එහි අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳා ගැනීමට ද කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිතුමා ගුරු සේවයේ ගැටලු විසඳා ගැනීම සඳහා රජය, පළාත් සභා සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධ වූ පුළුල් කාර්යක්ෂම වැඩපිළිවෙළකට එළැඹිමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු පියවීම සඳහා වාණිජ, කලා, විද්‍යා ගණිත, තොරතුරු තාක්ෂණ විෂයන් සඳහා මෙන්ම දෙමළ මාධ්‍ය උපාධිධාරින් සඳහා අද මෙම පත්වීම් ප‍්‍රදානය සිදු කෙරිණි.

ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් උපාධිධාරින් 15 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News