ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ සිටින ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් මහතා ඊය‌ේ (08) උදෑසන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

දෙරට අතර පවත්නා වර්තමාන සබඳතා පිළිබඳව එම හමුවේ දී සාකච්ඡා කෙරුණු අතර ව්‍යාපාරික සමුළුවක් සඳහා, නොකියා සහ ෆෝටම් වැනි ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් කිහිපයක නියෝජිත කණ්ඩායමක් ලබන ඉරිදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් මහතා පවසන ලදී.

මීට අමතරව, දෙරට අතර ඩිජිටල්කරණය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිමට නියමිත අතර දෙරටේ රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ලබන අඟහරුවාදා දින එය සිදුකිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

බලශක්ති සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර ඔස්සේ තවත් අවබෝධතා ගිවිසුම් දෙකකට පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් අත්සන් තැබෙනු ඇත.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සිය සතුට පළකළ අග්‍රාමාත්‍යවරයා, ෆින්ලන්තය ඇතුළු ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ සහ අයිස්ලන්තය යන නෝර්ඩික් රටවල් සමග පවත්නා ද්වීපාර්ශවිය සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

Read more

Local News