බෝනොවන රෝග විශාල අභියෝගයක් – සීනි භාවිතය අවම කිරිම සඳහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නවක හෙඳ හෙඳියන් 1452 කට පත්වීම් ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ,

“බෝනොවන රෝග විශාල අභියෝගයක්. එමගින් සියයට 70 ක් වාර්ෂිකව මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඩෙංගු සහ එච්.අයි.වී වලින් ද අපි මිදෙන්න ඕනි. ඩෙංගු රෝග ව්‍යාප්තිය සියයට 50 කින් මැඩපවත්වා තිබෙනවා. ලෝකයේ කිසිම රටක් ඩෙංගු රෝගය කඩිනමින් වළක්වා නොගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. බෝනොවන රෝග වලින් මිදීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරිම සදහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති පනවනවා. දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. නැතිනම් සීනී, ලුණු, මේදය භාවිතය අවම වන්නේ නැහැ. ඖෂධ මිල ඉදිරියේ දී තවත් අඩු කරනවා. ඖෂධ මාෆියාවේ දුෂණ වංචා ඉවත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී පෞද්ගලික රෝහල් නියාමනය කරනවා. එහි සැළසුම් සකස් කර අවසන්. නමුත් වෛද්‍යවරුන්ගේ ගාස්තු අය කිරිම පිළිබද ගැටලුවක් තිබෙනවා. රුපියල් සත වලට සීමා වූ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවයක් බවට පත් කරනවා. පත්වීම් ලාභී ඔබට අසාධාරණයක් සිදු වන්නේ නම් සෘජුවම මාව හමුවෙන්න. නිලධාරින් රාජකාරී කටයුතු ප්‍රමාද කරන්නේ නම් මට වාර්තා කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.