කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන DPJ Tower ගොඩනැගිල්ලෙන් ඉවත්වීම සඳහා කරුණු අධ්‍යයනයට විද්වත් කමිටුවක්

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන DPJ Tower ගොඩනැගිල්ලෙන් එම අමාත්‍යාංශය ඉවත් කර මින් පෙර එම අමාත්‍යාංශය පිහිටා තිබු බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (18) සය පුද්ගල විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.

මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පිහිටා තිබෙන ගොඩනැගිල්ල මෙම අමාත්‍යාංශය සඳහා කිසිසේත්ම උචිත නොවන අතර, මාසිකව රු. මිලියන 21කට අධික මුදලක් මාසික කුලිය වශයෙන් ගෙවීමට සිදුව තිබේ. එමෙන්ම මෙම බදු ගිවිසුම වසර පහකින් අවසන් වන අතර ඒ වනවිට මෙම ගොඩනනැගිල්ල සඳහා ගෙවීමට සිදුවන මුදල රු. මි. 950 ඉක්මවයි. නමුත් ඒ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම පිළිබඳව ගැටළු පවතී.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙහි බදු ගිවිසුමේ නීත්‍යානුකූල භාවය, මෙතෙක් කල් ගෙවා ඇති කුලී හා වෙනත් වියදම් පිළිබඳව කරුණු සෙවීම, ගිවිසුම අවසන් කිරීමට ඇති නෛතික හැකියාව, යනාදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් කරුණු සොයා බැලීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම කමිටුවෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මේ සම්බන්ධව වන අවසන් වාර්තාව හා නිර්දේශ මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කමිටුවට දන්වා ඇත.

මේ අතර අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා ගරු කතානායක කරු ජයසූරිය මහතා වෙත ද ලිපියක් යොමුකර තිබේ. එමගින් අමාත්‍යවරයා කියා ඇත්තේ අති දැවැන්ත මහජන මුදල් කන්දරාවක් වැය කරමින් මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති මෙම DPJ Tower ගොඩනැගිල්ල තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සඳහා යොදා ගැනීම ජාතික අපරාධයක් බවයි.

Read more

Local News