සබරගමුවේ පාසල්වල වැඩ බලන විදුහල්පතිවරුන්ට විදුහල්පති දීමනාවක්

Share

සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඊයේ (18) දෙහිඕවිට අටුළුගම අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති දෙහිඕවිට කලාපයේ විදුහල්පතිවරුන්ගේ හමුවට එක්වෙමින් සඳහන් කළේ,
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාසැල්වල වැඩ බලන පදනමින් සේවයේ නියුතු විදුහල්පතිවරුන් සඳහා විදුහල්පති දීමනාව ලබාදෙන බවයි.
සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන ඇතැම් පාසැල්වල විදුහල්පති ශ්‍රේණිය සමත් නොවූ ගුරුභවතුන් විදුහල්පතිවරු ලෙස වැඩ බැලීමේ පදනමින් සේවය කරති.
සබරගමුව පළාතේ පාසැල් 1116 ක්‍රියාත්මක අතර ඉන් පාසැල් 400 පමණ විදුහල්පති ධූරයේ කටයුතු කරනුයේ වැඩබලන විදුහල්පතිවරුන්ය. එලෙස වැඩ බැලීමේ පදනමින් කටයුතු කරන විදුහල්පතිවරු සඳහා මෙතෙක් විදුහල්පති දීමනාවක් ලබාදී නොමැති බව මෙම අවස්ථාවට සහභාගී වූ විදුහල්පතිවරුන් විසින් පළාත් ආණඩුකාර නිලූකා ඒකනායක මහත්මිය වෙත දැනුම් දෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ එම වැඩ බලන විදුහල්පතිවරුන් සඳහා ද විදුහල්පති දීමනාව ලබාදීමට තමා කටයුතු කරන බවය. සබරගමුව පළාත තුළ විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් මෙලෙස වැඩ බලන විදුහල්පතිවරු පත්කර ඇත.
විදුහල්පතිවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යංශය මගින්  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යටතේ පවත්වනු ලබන විභාගයෙන් සමත් වූ ගුරුභවතුන්ය.

Read more

Local News