මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෝ 3741ක් පසුගිය වසර තුනකදී අත්අඩංගුවට

රට තුළ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙමින් පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට ආණ්ඩුව විශේෂ කාර්ය බළකායට 2016 වසරේදි ලබා දෙන ලද අභියෝගය අකුරටම ඉෂ්ඨ කරමින් පසුගිය වසර තුන තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන සැකකරුවෝ 3741ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි හතලිස් හයක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාගේ මෙහෙයවිම මත රටපුරා මේ වන විටත් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මේ වන විටත් නොකඩවා ක්‍රියාත්මක වෙමින් පවති. ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට ගෙන එනු ලබන හෙරොයින් ,කොකේන් ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය වර්ගද මෙරට තුළ ජාවාරම් කරන ගංජා නීති විරෝධි මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය වර්ගද ඇතුළුව රුපියල් කෝටි හතලිස් හයක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි හතහමාරක් පමණ වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම පිණිස විශේෂ කාර්ය බළකාය මඟින් රට පුරා වැටලිම් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ. එහිදි හෙරොයින් ග්‍රෑම් 7414ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද විශේෂ කාර්ය බළකාය පෙන්වා දෙයි.

මෙහිදි නිති විරෝධි දුම්වැ‍ටි ලක්ෂ දාහතරකට වැඩි ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඒවායේ වටිනාකම රුපියල් කෝටි තුන ඉක්මවා තිබේ. මෙරටට නිති විරෝධි සිගරැට් ගෙන්වන ප්‍රසිද්ධ පාතාල නායකයකුට අයත් දුම්වැටි කන්ටේනර් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර තවත් ජාවාරම්කරුවන් විශාල වශයෙන් අලෙවි කරන ලද මත්ද්‍රව්‍යක් වන්නේ කේරල ගංජාය. මෙහිදි විශේෂ කාර්ය බළකාය රුපියල් මිලියන 234ක් වටිනා කේරල ගංජා කිලෝ ග්‍රෑම් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබිණි.

මිට අමතරව රුපියල් මිලියන දෙකක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ ග්‍රෑම් හයසියයකට වැඩි ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.එහිදි ගංජා හේන් අක්කර හාරසියයක පමණ ප්‍රමාණයක්ද විනාශ කර තිබේ.

මෙහිදි රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමකින් යුත් නිති විරෝධි මත් පැන් ලිටර් විසි දහසකට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් මිලියන හයකට වැඩි වටිනාකමකින් යුත් නිති විරෝධි මත්පෙති ලක්ෂකට ආසන්න ප්‍රමාණයක්ද, විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය අතර වෙයි