” නිල සෙවණ” කාර්යාල 16 ක් හ‌ෙට වජිර අබේවර්ධන මහතා අතින් ජනතා අයිතියට

Share

මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවණ, ග්‍රාම නිලධාරී කාර්යාල 16ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතින් හ‌ෙට (23) දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන නිල සෙවණ, කාර්යාල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දී රුපියල් ලක්ෂ 20ක වියදමින් මෙවැනි එක් කාර්යාලයක් ඉදිකරනු ලබයි. ඒ අනුව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවෘත කරනු ලබන කාර්යාල 16 සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 320කි.

ගමක සිටින ග්‍රාම නිලධාරීල සමෘද්ධි නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන් සිව්දෙනාට එකම ස්ථානයක සිට සිය රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා මෙම නිල සෙවණ, කාර්යාල ඉදිකරනු ලබයි. ගමේ පොදු කටයුතු සඳහා ද මෙම කාර්යාල පරිශ්‍රයේ ඉඩකඩ තිබේ.

රජයේ ඉලක්කය වී ඇත්තේ 2020 අවසන් වීමට පෙර මෙරට සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස වෙනුවෙන් නිල සෙවණ, කාර්යාල ඉදිකිරීමයි. එමගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇත.

Read more

Local News