මේ වසරේ යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Share

2018 යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළ ගොස් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පසුගිය දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකටම ඇද හැළුන වර්ෂාව හේතුවෙන් මේ වනවිට සෑම ජලාශයක්ම සියයට 75-90ත් අතර ප්‍රමාණයකින් ජලය පිරී ගොස් ඇත. එහෙත් ප්‍රදේශ කිහිපයකට පමණක් තවමත් නිසි පරිදි වර්ෂාව නොමැති හෙයින් එම ප්‍රදේශවල පමණක් අවම කුඹුරු ප්‍රමාණයක් වගා කිරීමට සිදුවී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය කළින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයකි. එහෙත් වර්ෂාව හේතුවෙන් වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399ක් දක්වා ඉහළ යාම නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

වගා කරන කුඹුරු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2018 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර ප්‍රමාණය ද කිසිදු හිගයකින් තොරව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව මෙවර යළ කන්නය සඳහා රජය විසින් සහනාධාරය යටතේ නිකුත් කරන පොහොර ප්‍රමාණය මෙ. ටො. 162,179.97කි.

මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය සඳහා රජය විසින් වෙන් කර තිබෙන මුදල රු. මි. 9,551,774,330කි.

රජය විසින් කළින් පැවැති ක්‍රමයට අනුවම පොහොර ලබා දීමට පියවර ගෙන ඇති අතර වී වගාව සඳහා ලබා දෙන පොහොර මිටියක් රු. 500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්ද, සෙසු වගාවන් සඳහා යුරියා පොහොර මිටියක් රු. 1500කට නියෝජිත ආයතනවලින්ද මිල දී ගත හැකිය.

එමෙන්ම කාබනික වගාව යටතේ වී හා වෙනත් එළවලු හා පලතුරු වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය මෙතෙක් ලබා නොදුන්නද, ඔවුන්ට ද කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය මගින් ලබා දීමට ද පියවර ගෙන ඇත. ඊට අදාල කටයුතු මේ වනවිටත් සකස් කෙරෙමින් පවතී.

Read more

Local News