2018 යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්

Share

2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.

එමෙන් ම 2009 සිට 2014 දක්වා වසර 05ක කාලය තුළ වී අලෙවි මණ්ඩලය එවකට පැවති රජයේ උපදෙස් මත දුන් තීන්දු ක්‍රියාත්මක කිරීමට යාම නිසා රු.මි.7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේය.

වි අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව අවධාරණය විය. එම කාලය තුළ සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, වී මෙ.ටො.විශාල ප්‍රමාණයක් සත්ව ආහාර වශයෙන් පුද්ගලික අංශයට කිලෝවක් රු.24 බැගින් අලෙවි කිරීම (මිල දී ගෙන තිබුණේ රු.42ට) වැනි තීන්දු තීරණ රැසක් හේතුවෙන් මෙම පාඩුව සිදු වු බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

වී අලෙවි මණ්ඩලය වත්මන් රජය යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙල රැසක් ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා වී අලෙවි මණ්ඩලය විසින් PMB Rice නමින් සහල් සහන මිලකට අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් ඉදිරි මාස 02 තුළ ක්‍රියාත්මක කරන බව කීය.

එමෙන්ම 2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කීය.

Read more

Local News