පරාක‍්‍රම සමුද්‍රයේ සුන්දරත්වය වනසා දමන කැළි කසළ ගැටලුව ජනපතිගේ අවධානයට

Share

ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුළන ආභරණය පරාක‍්‍රම සමුද්‍රයයි.

එහෙත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලුව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.

අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.

ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා ඊයේ (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක‍්‍රම සමුද්‍රය අසළ මෙම කණගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.

අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලු නිලධාරින් කැඳවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලුව විසඳිම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට නියෝග කළේය.

ඓතිහාසික උරුමයක් වූ පරාක‍්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.

Read more

Local News