දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ජනපති පෙන්වා දෙයි

28

පෞද්ගලික උපකාරක පන්ති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වා ගැනීම පිළිබඳ ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ,

දහම් අධ්‍යාපනය ලබාදෙමින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් පසළොස්වක පොහොය දින සහ ඉරිදා දින පෞද්ගලික පංති පැවැත්වීම පිළිබඳ නිසි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බවත්, ව්‍යවස්ථාපිත තත්ත්වයන්ට වඩා මේ සඳහා වැදගත් වන්නේ සදාචාර සම්පන්න සමාජයක් පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් යුතුව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය බවයි.

ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමින් මේ වන විට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක වන නමුත් දීප ව්‍යාප්ත මට්ටමින් පොදු වැඩසටහනක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරියේදී ප‍්‍රථමයෙන් මේ පිළිබඳ උපකාරක පංති පවත්වන ආචාර්යවරුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් දැඩි ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.