ආණ්ඩු කරණයට ස්ථාවරභාවයක් මැතිවරණ ක්‍රමයෙන් ලබාදිය යුතුයි

Share

දේශපාලන පක්ෂවල පටු වුවමනාකම් බලන්නේ නැතිව, පැරණි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නැයි විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

පළාත් සභා ඡන්ද විමසීම් සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලංකාව මැතිවණ ක්‍රමයේ පර්යේෂණාගාරයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. කිසිම මැතිවරණ ක්‍රමයක් සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ. එහෙත් හොඳ මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. නියෝජනය මැනවින් තහවුරු විය යුතුයි. ආණ්ඩු කරණයට ස්ථාවරභාවයක් මැතිවරණ ක්‍රමයෙන් ලබාදිය යුතුයි. අපි බර තබා තිබෙන්නේ, නියෝජනය මැනවින් තහවුරු කරගැනීමටයි. එහෙත් ස්ථාවරභාවය දෙස බලා මැතිවරණ ක්‍රම සකස් කර නෑ. තුලනාත්මක මැතිවරණ ක්‍රමයක් සකස් කරගෙන නෑ. අද පළාත් පාලන ආයතනවල ආණ්ඩුකරන අර්බුධයක් තිබෙනවා.

මෙහි තියෙන ප්‍රශ්නය තමයි සියයට 50%ක් නියෝජනය මහජන ඡන්දයෙන් සෘජුව පත් වෙන අය නොවෙයි. මේ සභාවක පත්වන මන්ත්‍රීවරුන්ගේ හරි අඩක් නාම කරණයෙන් පත් වෙන අය නම්, මේ සභා මහජන නියෝජිත සභා ලෙස හැදින් විය හැකි ද? ඒ නිසා පැරණි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට මැතිවරණ පවත්වන්න කියා කියනවා. පළාත් සභා ඡන්දය වහාම පැවැත්විය යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News