මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතියට ගතයුතු ඉදිරි පියවර රැසක් පිළිබඳ ජනපතිගේ අවධානය

Share

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

විදේශ විනිමය හරහා ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන මැණික් හා ස්වර්ණභාරණ ක්ෂේත‍්‍රයෙහි මතුව ඇති ගැටලු සහ එහි උන්නතියට ගතයතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

රත‍්‍රන් සඳහා පැනවූ 15% ක ආනයන බද්ධ ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ආදායම් බදු සඳහා යටත් වීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මෙන්ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් සඳහා පතල් කැණීමට බලපත‍්‍ර නිකුත් කිරීමේ ගාස්තු අවම කර ගැනීම ආදි ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.

එමෙන්ම වගාකළ නොහැකි තත්වයේ කුඹුරු ඉඩම් පතල් කැණීම සඳහා යොදා ගැනීම හා පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයින් උනන්දු කරවන වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

පතල් කැණීම් හා බලපත‍්‍ර ලබාදීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර ප‍්‍රාදේශීය තත්වය සැලකිල්ලට ගෙන පතල්කරුවන්ට සහන ලබා දෙන ලෙසටත්, පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා නොදමන පතල්කරුවන්ගේ බලපත‍්‍ර අහෝසි කර නීතිමය පියවර ගැනීමටත් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

නීතිවිරෝධී පතල් කැණීම් සම්බන්ධයෙන් වන වැටලීම් වලදී ඇතිවන ගැටලු පිළිබඳව හා සංවිධානාත්මක මට්ටමෙන් ව්‍යාජ මැණික් අලෙවිකරන්නන් වැටලීම සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

Read more

Local News