ශ‍්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර මිත‍්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ අවධානය

ශ‍්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත‍්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුව සඳහා සහභාගීවීමට ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජෝර්ජියා ජනාධිපති Giorgi Margvelashvili මහතා අතර හමුව ඊයේ (18) පැවැත්වුණු අතර එහි දී මේ පිළිබඳ නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව ප‍්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නිලධාරින්ට උපදෙස් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසී ය.

දෙරට අතර කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත‍්‍රයේ සබදතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී දෙරටේම නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.

ශ‍්‍රී ලාංකික සිසුන් විශාල ප‍්‍රමාණයක් ජෝර්ජියාවේ අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ‍්‍රී ලංකාව සමග පවතින සබඳතා සෑම අංශයකින්ම ඉහළ නංවා ගැනීමට ජෝර්ජියාව ඉතා කැමැත්තෙන් පසුවන බව ජෝර්ජියානු ජනාධිපතිවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.