බෞද්ධ දර්ශනය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන සාකච්ඡා සහ සංවාද මණ්ඩප ඉතා කාලෝචිත පියවරක් – ජනපති

Share

වාණිජ්‍යත්වය සමග පිරිහෙන සමාජය සුවපත් කිරීම සඳහා බෞද්ධ දර්ශනය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන සාකච්ඡා සහ සංවාද මණ්ඩප ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා සංඝ සභා සම්මේලනය (22) දින පස්වරුවේ ඓතිහාසික පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

නිකාය බේදයකින් තොරව මෙවැනි දම් සභා මණ්ඩප පැවැත්වීම ඉතා කලෝචිත පියවරක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. තමන් සෑමවිටම ගෞරවණීය මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා ගරුකොට මෙන්ම ගුරුකොට සළකන රාජ්‍ය නායකයෙකු බව සඳහන් කළ ජනාධිපතිතුමා යහපත් මෙන්ම සදාචාරවත් දේශයක් උදෙසා ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා සහ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට තම රජය බැඳී සිටින බව ද කියා සිටියේය.

එමෙන්ම දිවයින පුරා වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට මෙන්ම ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද රජය පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, දුෂ්කර ප‍්‍රදේශවල වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට හා ඒවායේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මහා සංඝරත්නයේම යෝජනාවක් අනුව කි‍්‍රයාවට නැංවූ බෞද්ධ පුනරුද අරමුදල හරහා මේ වන විට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් එම කටයුතු හරහා වැය කර තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

වසර 118 කට පෙර අතිපූජ්‍ය දන්ගෙදර ශ‍්‍රී සමුනජෝති මහා නායක හිමිපාණන් වහන්සේ විසින් පිහිටවනු ලැබූ ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වය මගින් පස් වසරකට වරක් පවත්වන මහා සංඝ සභා රැස්වීම මෙවර සංඝ සම්මේලනයක් ලෙස පැවැත්විණි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදු කරන සේවාව මෙන්ම ශී‍්‍ර ලාංකික අභිමානය සඳහා රාජ්‍ය නායකයෙකු ලෙස කි‍්‍රයා කරන ආකාරය පිළිබඳ මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ ඉතිහාස කතිකාවත හා ව්‍යවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. මහාචාර්ය පූජ්‍ය නවගමුවේ රේවත නායක හිමිපාණන් වහන්සේ සහ නාවලපිටියේ සරණජෝති හිමිපාණන් වහන්සේ විසින් රචනා කළ ග‍්‍රන්ථ දෙකක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශ‍්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය

Read more

Local News