පස් ප්‍රවාහනය සඳහා තිබූ ක්‍රමවේදයේ යම් වෙනසක් අැති කිරිමට පියවර – අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම

Share

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද (25) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ,
පස්, වැලි හා ගල් ප්‍රවාහනය කිරීමේ දී පවතින ගැටළු පිළිබඳ ව සලකා බලා පස් ප්‍රවාහනය සඳහා තිබූ ක්‍රමවේදයේ යම් වෙනසක් ඇති කිරීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කොට ඇතැයි ද ඉදිරියේ දී වැලි හා ගල් ප්‍රවාහනයට ද මෙලෙස ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව නිවසක් ඉදිකිරීම වැනි පුද්ගලික ඉදිකිරීම් කටයුත්තක් වැනි හේතුවක් නිසා කැණීම් කරනු ලබන පස් අදාළ කොට්ඨාසය භාර ග්‍රාම නිලධාරිවරයාගේ ලියවිල්ලක් මත එම ග්‍රාම නිලධාරි කොට්ඨාසය තුළ, යාබද ග්‍රාම නිලධාරි කොට්ඨාසය තුළ හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ප්‍රවාහනය කිරීම සිදු කළ හැකිය. එමෙන් ම එම පස්වල ධාරිතාවය කියුබ් එකක හෝ ඊට අඩු ධාරිතාවයකින් යුක්ත විය යුතු අතර ප්‍රවාහනය කටයුතු පෙරවරු 6.00 සිට පස්වරු 6.00දක්වා පමණක් සිදු කළ හැකිය.
එමෙන් ම නිවසක් නොවන එහෙත් වාණිජ හෝ විකිණීමේ පරමාර්ථයෙන් කැණීමක් සිදු නොකළ ධාරිතාවය කියුබ් 50ක් දක්වා වන පස් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම ග්‍රාම නිලධාරිවරයාගේ සහතික කිරිම මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට ද මෙම නව ක්‍රමවේදය අනුව හැකියාව ලැබේ.
යම් පස් කැණීමක් කියුබ් 50ට වැඩි මෙන් ම 200ට අඩු ප්‍රමාණයක් නම් එම පස් ප්‍රවාහනය කිරීම සඳහා අවසර පත්‍රය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල වෙතින් ලබාගත යුතු අතර 200ට වැඩි සෑම කැණීමක පස් ප්‍රවාහනය සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු ව ඇත.
පස් ප්‍රවාහනය පමණක් ම නොව වැලි හා මැටි ප්‍රවාහනය සඳහා ද පවතින ගැටළු ඉදිරියේ දී නිරාකරණය කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සමග සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පස් ප්‍රවාහනයේ දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ලබාගත යුතු බලපත්‍ර හේතුවෙන් මහජනතාවට තම පෞද්ගලික ඉදිකිරීමක් සඳහා අවශ්‍ය පස් අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙන් ම වැඩි පස් ප්‍රවාහනය කිරීමේදී ඇති වූ ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.

Read more

Local News