ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම අරමුණයි – ජනපති

Share

තම ධුර කාලය තුළ දී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ අද (25) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

බලය සහ දූෂණය එක්ව බැඳී ඇති දම්වැලක් සේ එකට ගමන් ගන්නා බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, අල්ලස සහ දූෂණය ද අපරාධ සහ මත්ද්‍රව්‍ය ද ලොව පුරා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය බව ද කියා සිිටියේය.

ශ‍්‍රී ලංකාවේ අල්ලස් කොමිසම පිහිටුවා වසර 25 කට ආසන්න කාලයක් ගතව තිබුණ ද මෙරට අල්ලස හෝ දූෂණය මැඞීමට ප‍්‍රමාණවත් බලයක් එම ආයතනයට හිමි ව නොතිබූ බව සඳහන් කළ ජනාධිපතිතුමා, 19 වන සංශෝධනය මගින් පූර්ණ ස්වාධීනත්වයෙන් යුත් අල්ලස් හෝ දූෂණ කොමිසමක් ස්ථාපනය කිරීමට හැකිවූ බව ද ප‍්‍රකාශ කළේය.

දූෂණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග ශක්තිමත්ව එක්ව ගමන් කිරීම තම රජයේ අරමුණ බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා විදේශ රටවල සැඟව සිටින මහා පරිමාණ දුෂණ ක‍්‍රියා සිදුකළ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ජාත්‍යන්තර සංවිධානවල ද මැදිහත්වීම සහ සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයින් පාට පක්ෂ භේදයකින් තොරව සන්ධානගත වී දූෂණ විරෝධී වැඩපිළිවෙළ වැළැක්වීමට ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද මෙහිදී කියා සිටි ජනාධිපතිතුමා කුමන බාධක පැමිණියත් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.

Read more

Local News