ජනතාව දිළිඳුකමින් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සෑම කෙනෙකුගේම වගකීමයි – ජනපති

Share

දිළිදුකම පිටුදැකීම සඳහා රජය කි‍්‍රයාත්මක කර තිබෙන සංවර්ධන සැලසුම් සහ වැඩසටහන් විධිමත් අයුරින් කි‍්‍රයාවට නංවමින්, ජනතාව දිළිදුකමින් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සෑම කෙනෙකුගේ ම වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ රත්නපුර පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී පැවති ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමිනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ඊයේ මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.

පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසම සහභාගී වී සිටී මෙම රැස්වීමේ දී ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සබරගමුව පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

එමෙන් ම ප‍්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා සඳහා කඩිනම් විසදුම් ලබාදීම ද මෙහිදී සිදු විය.

කෑගල්ල නගරය තුළ වෙළෙද කුටි සහිත නොනිදන වෙළෙඳ උද්‍යානයක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා වැය වන රුපියල් මිලියන 65 ක මුදලින් පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 25 ක මුදලක් ඉදිරි සතියේ දී නිදහස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

එමෙන්ම රත්නපුර දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනා ද කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කිතුල් ආශි‍්‍රත නිෂ්පාදන සඳහා නිසි වෙළෙඳපොළක් හිමි නොවීමෙන් පළාතේ කර්මාන්තකරුවන් මුහුණදී තිබෙන ගැටලුව පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම ගැටලුව විසදීම සඳහා එම අවස්ථාවේදීම ජනාධිපතිතුමාගේ ඝෘජු මැදිහත්වීම ලබාදෙන ලදී.

ඒ වෙනුවෙන් කුඩාව සිංහරාජ සංචාරක සේවා සහ කිතුල් නිෂ්පාදන ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ කාර්ගිල්ස් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

දිස්ති‍්‍රක්කයේ පළතුරු ගොවීන් මුහුණ පා ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර පළතුරු කල්තබා ගැනීම සඳහා නවීන තාක්ෂණය උපයෝගි කර ගැනීම සහ එම නිෂ්පාදන පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපළ සඳහා යොමු කිරීමේ ක‍්‍රමවේදයක් පිළිබඳව ද එකඟතාවයකට එළැඹිණි.

ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය වෙනුවෙන් වූ ප‍්‍රතිපාදන රත්නපුර සහ කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ඒ අනුව රත්නපුර දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් ලක්ෂ 510 ක් සහ කෑගල්ල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් ලක්ෂ 330 ක් ලබාදීම සිදු විය.

මින් අනතුරුව ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයක් වූ පැල්මඬුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගම ග‍්‍රාම නිලධාරි වසමේ ද නිරික්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා එහි ජනතාව හමුවෙමින් ඔවුන්ගේ සංවර්ධන ගැටලු පිළිබඳ සොයා බැලීය.

රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් 15 ක පමණ දුරින් පිහිටා ඇති ගනේගම ගම්මානයේ පවුල් 521 ක් පමණ ජීවත්වන අතර කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වූ මෙහිි ජනතාව සංවර්ධන ගැටලු රැසකින් පීඩා විදිති.

මෙම ගම්මානයේ ජනතාව හමුවීමට රාජ්‍ය නායකයෙකු පැමිණියේ වසර 33 කට පසුව වීම ද විශේෂත්වයක් වන අතර එම ජනතාව ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

පළාතේ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ද කැටුව ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක්වීම ප‍්‍රදේශවාසින්ට මහගු අස්වැසිල්ලක් වූයේ ඔවුන්ගේ බොහොමයක් ගැටලුවලට එම මොහොතේදීම විසදුම් ලබා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබුණු නිසාය.

ප‍්‍රදේශයේ යටිතල පහසුකම්, පානීය ජල ගැටලු, මහාමාර්ග, ප‍්‍රවාහන සහ ස්වයං රැකියා අවස්ථා හා ඒ සඳහා අවශ්‍ය පහසුම් ලබා ගැනීම ආදී ගැටලු රැසක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒවා විසදීම සදහා කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා අදාළ මැති ඇමතිවරුන්ට සහ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ප‍්‍රදේශයේ ජනතාව මුහුණදී තිබෙන සංවර්ධන ගැටලු හඳුනා ගනිමින් සහ ඒවා විශ්ලේෂණය කරමින් සකස් කරන ලද ග‍්‍රාමීය සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ප‍්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග‍්‍රාම නිලධාරි මහත්ම මහත්මින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂි සංවර්ධන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ප‍්‍රදේශය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු සංවර්ධන වැඩසටහන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම ද සිදු කළේය.

Read more

Local News