ආනයනික රට කජු ප්‍රමාණය අවම කිරීමේ සැලසුමක් – “ශ්‍රී ලංකා ජම්බෝ” නමින් නව රටකජු ප්‍රභේදයක්

Share

පසුගිය වසරේ දී රටකජු මෙට්‍රික් ටොන් 3094ක් විදේශයෙන් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 689ක් වැය කර ඇති අතර මේ අතරින් වැඩිම රටකජු ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත්තේ විශාල ප්‍රමාණයේ ජම්බෝ රටකජු විශේෂයන්ය.
මෙම රට කජුවලට විකල්පයක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් “ශ්‍රී ලංකා ජම්බෝ” නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට මෙම නව රටකජු ප්‍රභේදය හඳුන්වා දීම අගුනකොළපැළැස්ස මාංශ හා තෙල් භෝග පර්යේෂණ ගොවිපොළේ දී පසුගිය සතියේ දී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ජම්බෝ නව රටකජු ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එම වර්ගය සැපීමට ඉතා පහසුවන අතර මිහිරි රසයකින් යුක්ත වීමයි. එමෙන්ම වගා කර දින 110-115ක් අතර කාලයේ දී අස්වනු නෙලාගත හැකිවේ. එසේම විශාල බීජ සහිතවීමත්, හෙක්ටෙයාර් එකකට කිලෝ ග්‍රෑම් 4400 ඉක්මවු අස්වැන්නක් නෙලා ගැනීමටත් හැකිවේ. මෙම වර්ගය රටතුළ ව්‍යාප්ත කිරීම මගින් දැනට රටකජු ජාතික අවශ්‍යතාවය වන මෙ. ටොන් 27,294ක ප්‍රමාණය පහසුවෙන් අප රටේම වගා කිරීමට හැකි වේ. එමනිසා වාර්ෂිකව විදේශයට ඇදී යන රු.මි. 700කට ආසන්න මුදලක් අප රටේම ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.
මේ වනවිට අප රටේ රටකජු බෝගය වගා කරන නමුත් එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයට නොසෑහෙන බැවින් වාර්ෂිකව විදේශ රටවලින් රටකජු විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කරයි.
පසුගිය වසරේ මෙරට හෙක්ටෙයාර් 19,975ක රටකජු වගා කර තිබෙන අතර ඉන් නෙලා ගන්නා ලද අස්වැන්න ප්‍ර මාණය මෙ. ටො. 24,200කි.

Read more

Local News