දුම්වැටි අලෙවිය නතර කරන නගර සංඛ්‍යාව 200 දක්වා වැඩි කිරීමේ අපේක්ෂාවක්

Share

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 83 වන වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29)  කඩවතදී පැවැත්විනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළ‌ේ, දුම්වැටි අලෙවිය නතර කරන නගර සංඛ්‍යාව 200 දක්වා ඉදිරි වසර තුළ වැඩි වනු ඇති බවයි.

ජනතාව දුම්බීමෙන් තුරුන් කිරීම තම ප්‍රතිපත්තිය වන අතර දුම්වැටි සහ දුම්කොළ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් එම ක්‍රියාමාර්ගවලට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල සහයෝගයක් ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දුම්වැටි අලෙවිය ප්‍රවර්ධනය නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා ඇතැම් නගරවල මතින් සහ දුමෙන් තොර නගරයක් කියලා දැන්වීම් ප්‍රදර්ශණය කර තිබෙන බවත් එවැනි තත්ත්වයන් නිර්මාණය කිරීමට කැප වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

දිවයින පුරා දුම්වැටි අලෙවිය නතර කළ නගර 100 ක් පමණ තිබෙන බව අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මීළඟ සංවත්සරය වන විට එම නගර සංඛ්‍යාව 200 දක්වා වැඩිවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් නව ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් අලෙවි වීම අඩු වී ඇතැයි දුම්කොළ සමාගමේ වාර්තා සඳහන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වසර එකහමාරක පුහුණූ කාලය වසර 02  දක්වා වැඩි කරන බවත් රුහුණු විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව ඔවුන් වෙනුවෙන් උපාධි පීඨයක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට යතුරු පැදි 750 ක් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සඳහන් කළ ඒ මහතා ඔවුන්ගේ සේවාවේ නියුතු නිලධාරින්ගේ සංඛ්‍යාව 5,000 දක්වා වැඩි කරමින් අභිමානවත් සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

Read more

Local News