සුරක්ෂා විශේෂ අරමුදලේ ගිවිසුමට අත්සන් තැබේ

Share

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා අතර සුරක්ෂා විශේෂ අරමුදලට අදාළ ගිවිසුම ඊයේ (30) අත්සන් කෙරිණි.

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් ලක්ෂ හතළිස් පහක් වූ ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි සහ පැවිදි සිසුන් වෙත ද ලබාදීම සිදු කෙරේ.

රටේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය තහවුරු කිරීම සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ අරමුණයි. ලක්ෂ 2 කට වැඩි වියදමක් දැරීමට සිදුවන රෝගාබාධ හා සැත්කම්වලදී මාපියන් සහ දරුවන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සහ සෞඛ්‍ය අවධානමෙන් ඔවුන් මුදාගනිමින් ඔවුන්ට ශක්තියක් වීම මෙම අරමුදල මගින් සිදු වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ දායකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා තිබේ. මූලික අදියරේ දී මෙම අරමුදල තැන්පත් කර ඇති මුදල රුපියල් මිලියන 100 ක් වේ. තවත් රුපියල් මිලියන 400 ක මුදලක් ඒ සඳහා බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එකගතාව පළකර තිබේ. මෙම අරමුදල හරහා පිළිකා, හෘද සැත්කම්, වකුගඩු අකර්මන්‍යවීමට ලබා දෙන ප්‍රතිකාර, අවයව බද්ධ කිරීම් (වකුගඩු, අක්මා, ඇටමිදුළු) අන්ධභාවය, උපතේ දී සිදුවන අංගවිකල තත්වයන් සහ එදිනෙදා සිදුවන අනතුරුවලදී සිදුවන දණහිස්, වැලමිට සන්ධි බිඳීයාම්, මොළයේ සැත්කම් ආදී ප්‍රතිකාර 18 ක් සඳහා මෙම අරමුදල මගින් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා මුදල් ලබාදීමට තීරණය කර තිබේ.

Read more

Local News