යල කන්නයේ වී මිලදී ගැනීම අගෝස්තු 4 වන දා

Share

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමය බැවින් 2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙනු ලැබ ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව 2018 යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට නැගෙනහිර පළාතෙන් ආරම්භ වී තිබෙන නිසා එම ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම ප්‍රථමයෙන්ම ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බව එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය.
එම තීරණයට අනුව මෙවර යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම් කටයුතු අගොස්තු මස 04දා පෙරවරු 10.00ට අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, එම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට  පියවර ගෙන ඇත.
මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්ෂ හතරහමාරකට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබෙන අතර, ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1.4ක ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවද, මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,20,000කි. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රජය රු. මි. 4900ක මුදලක් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි අනුමත කරනු ලැබීය.

Read more

Local News