විදෙස් රැකියාවේදී මරණයට පත්වූ සහ රෝගී වු ශ්‍රමිකයින්ට ලක්ෂ 80ක වන්දියක්

Share

විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී මරණයට පත්වූ, විවිධ හේතුමත රෝගී වූ ශ්‍රමිකයින් සඳහා රුපියල් ලක්ෂ 80ක වන්දි මුදලක් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ප්‍රදානය කළේය.
විවිධ තාක්ෂණික හේතු නිසා කාර්යාංශය මගින් නොමිලේ ලබාදෙන රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකිවූ ශ්‍රමිකයින් හතලිස් එක් දෙනෙකු සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අරමුදල මගින් මෙම වන්දි ලබාදෙන ලදී.
මෙහිදී ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 15ක් සඳහා රු.4,150,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 22 දෙනෙකු වෙනුවෙන් රු.3,200,000.00, විදේශ රැකියාව අතරතුරදී සිදුවූ හිරිහැර හේතුවෙන් ශ්‍රමිකයින් තිදෙනෙකු සඳහා රු.450,000.00 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් රු.150,000.00 ක මුදලක්ද  පිරිනමන ලදී. මෙහිදී ශ්‍රමිකයින් 41 දෙනෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයින් 63 දෙනෙකු සඳහා මෙම මුදල් ලබාදෙන ලදී.

Read more

Local News