වසර අවසන් වන විට උද්ධමනය 4 සහ 6 අතර පරාසයක පවතිනවා – මහ බැංකු අධිපති

Share

මේ වසරේ දෙවැනි භාගය තුළ පවතින යහපත් කාළගුණ තත්ත්වය, කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත මත ඇතිවිය හැකි හිතකර බලපෑම් හේතුවෙන් 2018 වසරේ දෙවන කාර්තුවේ සිට ශ්‍රී ලංකා ආර්ථිකයේ මූර්ත වර්ධනයෙහි ක්‍රමානුකූල ඉහළ යාමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
පසුගිය පෙබරවාරි ජුනි මාස වලදී තනි අගයක පැවැති උද්ධමනය, ඛනිජ තෙල් මිල සහ ආහාර මිල ගණන් වැඩි වීම නිසා ජූලි මාසයේදී ඉහළ ගියේය. එහෙත් 2018 තෙවැනි කාර්තුව වන විට අස්වැන්න ලැබීම නිසා උද්ධමනය අඩු වනු ඇතැයි පුරෝකතනය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී  ඊයේ (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ අනුව වසර අවසන් වන විට උද්ධමනය 4 සහ 6 අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කරනු බවද ඔහු කීය. එසේම 2018 වසරේ මැයි මාසයේදී අපනයන ආදායමෙහි වර්ධනය, අපනයන වර්ධනයෙහි ආදායමට වඩා වැඩිවීම හේතුවෙන් වෙළඳ හිඟය යම් තාක් දුරට අඩු විය. මේ වසරේ මේ දක්වා කාලය තුළදී සංචාරක ඉපැයුම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය විය. රත්තරන් හා මෝටර්රථ ආනයන වල වර්ධනය පාලනය සඳහා මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග වලින් ගෙවුම් තුලනය මත වෙළඳ ගිණුමේ හිඟය මගින් ඇතිවන පීඩනය අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ජූලි මාසයේ අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වී ඇති බවද ආචාර්ය කුමාරස්වාමි මහතා පැවසීය.

Read more

Local News