නීති විරෝධී රැකියා ඒජන්සිවලට විරුද්ධව නඩු – නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා කිසිදු සමාවක් ලබා නොදේ

Share

නීති විරෝධී ආකාරයට ශ්‍රමිකයින් පිටත් කර යැවීමට උත්සාහ කළ හා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි හා පුද්ගලයින්ට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ මුල් මාස හත තුළදී නඩු 163ක් පවරා ඇති බවත් විදේශ රැකියා සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා කිසිදු සමාවක් ලබා නොදෙන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
නීති විරෝධී මිනිස් ජාවාරම්වලට වැට බැදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩසටහන ඉදිරියට ගෙන යන බවත් එහිදී නීති විරෝධී ආකාරයට පුද්ගලයින් විදේශ ගත කරන්නන්ට හා ඔවුන්ට සහාය ලබාදෙන පුද්ගලයින්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය. මෙම ජාවාරම්වලට සහාය ලබාදෙන නිලධාරීන් වෙතොත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටද කිසි විටෙක පසුබට නොවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
මේ අකාරයට නඩු පැවරූ ආයතන අතර නීත්‍යානුකූල බලපත්‍රලාභි රැකියා නියෝජිත ආයතන හා වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය රැකියා නියෝජිත ආයතනද වෙයි.
මේ වසරේදී පැවරූ නඩු අතරින් වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්ත්තේ සී ෂෙල්ස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ රැකියා ඒ්ජනසියකට විරුද්ධවය. එම ඒජන්සියට විරුද්ධව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 135ක් පවරා තිබේ. ඊශ්‍රායල් රැකියා ලබාදීම සඳහා වන රජයේ අනුමත ගාස්තුව ඉක්මවා පුද්ගලයින් දහ නම දෙනෙකුගෙන් රුපියල් කෝටි පහකට වඩි වැඩි මුදලක් අය කරගත් ආයතනයකට විරුද්ධව නඩු පවරා ඇති අතර මෙම ආයතනයට විරුද්ධව පවරා ඇති නඩු සංඛ්‍යාව 19කි.
සෝමාලියාවේ දූපතක් වන සෝමායා ලෑන්ඩ් හි ධීවර රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 17 දෙකෙුගෙන් රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රදේශයේ නීති විරෝධී විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය කාන්තාවකට විරුද්ධව හම්බන්තොට අධිකරණයේ නඩු පවරා ඇත.
නීති විරෝධී ලෙස විදේශ රැකියා ලබාදෙන පුද්ගලයින් හා ආයතන සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් නීති විරෝධී ලෙස රැකියා ලබාදෙන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳ තොරතුරු වේ නම් වහාම ඒ ගැන දැනුවත් කරන ලෙසත් නියෝජ්‍ය ඇමැතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
2015 වසරේදී නඩු 93ක් පවරා ඇති අතර 2016 වසරේදී පවරා ඇති නඩු සංඛ්‍යාව 179කි. 2017 වසරේදී නඩු 248ක් පවරා ඇත.

Read more

Local News