පැළ අලෙවි කිරීමේදී ඵල හටගන්නා ගුණාත්මකභාවයෙන් ඉහළ පැළ ගොවීන් වෙත ලබා ද‌ෙන්න – අමාත්‍ය මහින්ද අමරවීර

Share

පැළ අලෙවි කිරීමේදී ඵල හටගන්නා ගුණාත්මකභාවයෙන් ඉහළ පැළ ගොවීන් වෙත ලබා දීමට සැමවිටම කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සමුළුවේ දී ඉල්ලීමක් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේවනවිට ක්‍රියාත්මක කර තිබෙන “ අපි වවලයි – අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලේ එක් අදියරක් වන “ සරුපිරි ගෙවත්තක් ” පලතුරු පැළ කට්ටල ලක්ෂයක් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන පලතුරු පැළ ලබාදීමට සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමය එකඟත්වය පළ කළේ ය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලතුරු පැළ අලෙවි කිරීමේ දී ඵල හටගන්නා ගුණාත්මකභාවයෙන් ඉහල පලතුරු පැළ මහජනතාවට අලෙවි කිරීමට සැමවිටම පියවර ගන්නා ලෙස සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළේ ය.

නාගරිකව ජිවත්වන ජනතාව කුමන හෝ පැළයක් මිලදීගෙන තම ගෙවත්තේ සිටුවීමට කැමත්ත පල කරති. එහෙත් නාගරිකව වෙසෙන බොහෝදෙනෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කරනුයේ තමන් මිලදී ගත් පැළ වගා කළ ද ඒවායේ කිසිදු ඵල හටගැනීමක් නොවීම නිසා ඔවුන් මහත් අසීරුතාවයට පත්වන බවයි. එම නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ පලතුරු පැළ මහජනතාවට ලබා දීම මහත් පුණ්‍යකර්මයක් බව කී අමාත්‍යවරයා පැළ අලෙවි කර මහජනතාවට රවටන්නේ නම් එය මහත් පාපකාරී ක්‍රියාවක් බව ද අවධාරණය කළේ ය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ සරු පිරි ගෙවත්තක් ” වැඩපිළිවෙල යටතේ සෑම නිවසකම තමන්ට අවශ්‍ය පලතුරු සහ එළවළු පැළ රෝපනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, හදබිම අධිකාරිය වැනි ආයතන රැසක් ඊට දායකත්වය පල කර තිබේ. එම නිසා මෙම වැඩපිළීවෙලවල් සාර්ථක කර ගැනීමට සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයේ සහයෝගය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

Read more

Local News