මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට අවස්ථාවක්

Share

ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ.

මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ මස 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් නියෝජනය කිරීම සඳහා අකලංක පීරිස් අද (15) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනු ඇත.

මෙම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු ඉන්දුනීසියාවට යාමට නියමිත අතර ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ද සහය ඇතිව ඔවුන් ඉන්දුනීසියාවේදී විභාගය පවත්වනු ඇත.

විභාගයේ රහසිගතභාවය හා විනිවිදභාවය ආරක්ෂා වන පරිදි මෙරට වේලාවෙන්ම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මේ සම්බන්ධව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.

Read more

Local News