සබරගමුවේ පළාත් පාලන පුරප්පාඩු පිරවීම දෙසතියක් තුළ

Share

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතනවල පවතින සියලු පුරප්පාඩු සඳහා ඉදිරි දෙසතියක් ඇතුළත සේවකයින් බඳවා ගන්නා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
එම මහත්මිය මේ බව සදහන් කළේ ඊයේ (15) රත්නපුර පිහිටි සබරගමුව පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගරයේ පැවති කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය පැවසූවේ, සබරගමුව පළාතේ සියලු පළාත් පාලන ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයන් හි පුරප්පාඩු සඳහා රජයේ බඳවා ගැනීමේ පටිපාටිය අනුව පූර්ණ විනිවිද භාවයෙන් යුතුව මෙම බඳවා ගැනීම් කරන බවය.
සබරගමුව පළාතේ මහ නගර සභා එකක්, නගර සභා තුනක් සහ ප්‍රාදේශීය සභා විසිපහක් ලෙස පළාත් පාලන ආයතන 29ක් පවතී. එම පළාත් පාලන ආයතනවල බරවාහන යන්ත්‍ර ක්‍රියාකරු, ආදාහනාගාර ක්‍රියාකරු, මුරකරු, කාර්යාල කාර්ය සහයක, නගර ශාලා භාරකරු, ආදාහනාගාර සහයක, සුසාන භූමි භාරකරු, වැඩ ක්ෂේත්‍ර කම්කරු, සෞඛ්‍ය කම්කරු, විදුලි කාර්මික සහ ක්‍රීඩා රථ භාරකරු ලෙස මෙම පුරප්පාඩු පවතී.
මේ අනුව, එම ක්ෂේත්‍රවලට අදාළ ව පවතින තනතුරු 116 සඳහා ඉදිරි දෙසතිය තුළ බඳවා ගැනීමට සබරගමුව පළාත් සභාව මගින් කටයුතු කර ඇත.

Read more

Local News