දේශීය බඩඉරිඟු සඳහා සහතික මිලක්

Share

දේශීය බඩඉරිඟු ගොවීන් විසින් වගා කරනු ලබන බඩඉරිඟු ඉහළ මිලකට මිල දී ගැනීම මඟින් බඩඉරිඟු ගොවීන් එම වගාව සඳහා තවදුරටත් උනන්දු කරවීමට පියවර ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් නොව සමස්ත රජයේම වගකීමක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) පැවසීය.

දේශීය බඩඉරිඟු ගොවීන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මේ වනවිට අප රටට වාර්ෂිකව බඩඉරිඟු අවශ්‍යතාවය සම්පුර්ණ කර ගැනීම සඳහා විදේශ රටවලින් බඩඉරිඟු ආනයනය කිරීම සඳහා වාර්ෂික වැය කෙරෙන මුදල රු. මි. 6500 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ කුකුළුමස් විදේශ රටවලට අපනයනය කිරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව කෙරේ. එමෙන්ම ගවපාලනය ද ඉහළ ගොස් ඇත. එමනිසා එම සතුන්ට අවශ්‍ය සත්වාහාර සඳහා වැඩිපුර යොදා ගන්නේ බඩඉරිඟුය.

එම කරුණු සැලකිල්ලට ගනිමින් දේශීය බඩඉරිඟු ගොවියා දිරිමත් කිරීම සඳහාත්, දේශීය බඩඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහාත් බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දේශීය බඩඉරිඟු කිලෝවක් සඳහා රු. 40ක සහතික මිලක් නියම කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇත. එසේ වුවත් මේ සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර සහතික මිල සම්බන්ධයෙන් අවසාන නිගමනය තමන්ට ලබා දෙන්නැයි අමාත්‍යවරයා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම සහතික මිල රු. 40-50ත් අතර ප්‍රමාණයක වියයුතු යැයි තමන්ගේ අදහස බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීම සම්බන්ධයෙන් අදාල යෝජනාව ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News