ගොවි ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරනවා – ජනපති

Share

රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නඟා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපතිතුමා පවසයි.

ඒ උදෙසා සිදුකරන ආයෝජනවල ප‍්‍රතිඵල ද පැහැදිලි අතර ඒ තුළින් ජනතාවට කඩිනමින් ප‍්‍රතිලාභ හිමිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ මෙම 24 වනදා දියත් කිරීමට නියමිත එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණ මහා වාරි සත්කාරය සහ වයඹ ඇළ දෙවැනි අදියර වැඩ ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ය.

ණය බරින් නිදහස් වූ ආර්ථික සමෘද්ධිය ඇති ස්වයංපෝෂිත ජාතියක් ලෙස හෙට දවසේ නැගී සිටිය හැක්කේ ද කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිදුකෙරන විප්ලවීය පරිවර්තනය තුළින් බවත්, කෘෂිකාර්මික රටක් වුව ද ගොවි ආර්ථික නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් ගොවි ජනතාවගේ ගැටලූවට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ආයෝජන කිසිසේත් රටට ණය බරක් ඇති නොකරන බව ද කියා සිටියේය.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සමග නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා වංචා දූෂණ පිළිබඳ කළු පැල්ලම් වත්මන් රජයේ තෙවසරක සංවර්ධන වැඩපිළිවෙළ තුළ දක්නට නොලැබුණු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම 24 වනදා පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේදී සිදු කෙරේ.

Read more

Local News