මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න – මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්

Share

30 වසරක් පුරා පැවැති යුද්ධය මෙන් මත් උවදුර තුරන් කිරිම සදහා ජනාධිපතිවරයා සමග ඒකාබද්ධව කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වැඩපිළිවෙල ආරම්භ කරන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.
රාගම තේවත්ත ශ්‍රී ලංකා අපස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා කාදිනල් හිමිපාණන් බැහැදුටුවේය. එහිදී කාදිනල් හිමිපාණන් පැවසුවේ,
“සෞඛ්‍ය සේවාව අභියෝගාත්මක සේවාවක්. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරිම, අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරිම, පිළිකා රෝගීන් සදහා සහන ලබාදීම ඇතුලු රෝගී සත්කාරක සේවාවන් මම අගය කරනවා. ඒවා ක්‍රියාත්මක කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබතුමා බලයට පැමිණීමෙන් පසුවයි. අසරණ රෝගීන්ට විශාල සහනයක්. රෝගයක් වැළදුන පසු ඕනෑම පුද්ගලයෙකු අසරණ වෙනවා. අපි භාවිතා කරන ඖෂධත් මෙමගින් අඩු වී තිබෙනවා. එය ඉතාම හොද දෙයක්. වර්තමානයේ රජයේ රෝහල්වල සේවා හරිම හොදයි. ඇතැම් රෝහල් පෞද්ගලික රෝහල් වගෙයි. පාසල් දරුවන් අන්තරායකර ඖෂධ භාවිතයට ගොදුරුවීම නතර කළ යුතුයි. ඒ සදහා පියවර ගන්න. ඇතැම් ඖෂධ අලෙවිහල් වලිනුත් එවැනි ඖෂධ ලබාදෙනවා. පාසල් උපකරණ අස්සෙත් දාලා විකුණනවා.”
“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මම මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට යෝජනා කළ අවස්ථාවේ දී ලොකු විරෝධතාවයක් එල්ල වුනා. එහිදී මම බලාපොරොත්තු වුනේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් බේරා ගැනීමයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්න බැරිනම් දූපතක හරි රදවා තැබිය යුතුයි. බන්ධනාගාර ආරක්ෂිත වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය ලැබෙන බැවින් පාලනය කිරිම අමාරුයි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජනාධිපතිවරයා ලොකු උනන්දුවක් තිබෙන බව දක්නට ලැබෙනවා. මත් ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩපිළිවෙල අපි කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමු. මහා සංඝරත්නයේ සහයෝගයත් ලබාගන්න. කතෝලික සභාවේ සහයෝගය අපි ලබාදෙන්නම්. මත්ද්‍රව්‍ය නිවාරණය කිරිමේ වැඩපිළිවෙල සදහා මම පෙරමුණ ගන්නම්. මට වෙඩි තිබ්බත් මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කර ගත යුතුයි. එය ව්‍යවසනයක්. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. නිවාරණය කිරීමේ වැඩපිළීවෙල කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්න. ඔබතුමාට අපි පුර්ණ සහයෝගය ලබාදෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා – “අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග මිල අඩු කිරීමේ වැඩපිළීවෙලේ දී විවිධ බලපෑම් එල්ල වුනා. මම ලබන සතියේ දී තවත් ඖෂධ වර්ග 25 ක මිල අඩු කරනවා. විදේශීය රටවලින් ඖෂධ ආනයනය කිරිම අවම කිරිම සදහා ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරනවා. පාසල් දරුවන් අන්තරායකර ඖෂධ භාවිතයෙන් වළක්වා ගැනීම සදහා අපි පියවර ගන්නවා. අඛණ්ඩව වැටලීම් සිදු කරනවා. මත්ද්‍රව්‍ය ඇතුලත් ඖෂධ අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් සිදු කරනවා. කළුතර දිස්ත්‍රික්කයට වයඹ පළාතෙන් කෘත්‍රීම රා රැගෙන එනු ලැබුවා. ඒ මත්පැන් නිෂ්පාදනය කරන්න. එම මත්පැන් භාවිත කිරීමෙන් මිනිසුන් විනාශ වෙනවා. එය සෞඛ්‍ය අයවැයට ලොකු බාධාවක්. දුම්වැටි අලෙවිය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණීම නතර කිරීමට මම යොජනා කළා. නමුත් මුදල් අමාත්‍යාංශයෙන් බාධා එල්ල වුනා. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සදහා වැඩපිළීවෙළක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලෙස කාදිනල් හිමිපාණන් කළ යෝජනාවට මම පුර්ණ සහයෝගය ලබාදෙනවා.”

Read more

Local News