තිරසර දැක්ම පිළිබඳ ජනපති හා විශ්වවිද්‍යාල ප‍්‍රජාව අතර සාකච්ඡා වටයක් ඉදිරියේ දී

Share

තිරසර දැක්ම එළිදැක්වීමෙන් පසු එම කතිකාව ඉදිරියට ගෙනයාම පිළිබඳ විද්වත් අදහස් ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාල කේන්ද්‍රකර ගනිමින් විද්වත් සාකච්ඡා මාලාවක් මේ වන විට පැවැත්වෙන අතර වට දෙකකින් සමන්විත සාකච්ඡා මාලාවේ දෙවන වටය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය හා විවෘත විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට මෙම විද්වත් සාකච්ඡා පවත්වා තිබෙන අතර ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වීමේ අභියෝගය හමුවේ තිරසර ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අධ්‍යාපන, ප‍්‍රවාහන, කෘෂිකර්ම, කාර්මීකරණය ආදී අංශවල පවතින අභියෝග පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

ශ‍්‍රී ලංකාවේ අනාගත තිරසර දැක්ම කෙසේ විය යුතුදැයි මහජනතාව, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පුළුල් සංවාදයක් ඇති කිරීම මෙම සාකච්ජා තුළින් අපේක්ෂා කෙරේ. මෙම සාකච්ඡා සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරු ද, ජාතික තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේ ප‍්‍රධානී මහාචාර්ය මොහොන් මුණසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයින් එක්වෙයි.

එමෙන්ම තිරසර දැක්ම පිළිබඳ සාකච්ඡා මාලාවක් අමාත්‍යාංශ මට්ටමින් එළැඹෙන සතියේ සිට පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

ජනාධිපතිතුමා විසින් ශ‍්‍රී ලංකාවේ 2030 තිරසර සංවර්ධන දැක්ම පිළිබඳ පළමු කෙටුම්පත සකස් කිරීම සඳහා නොබෙල් සම්මානලාභී ප‍්‍රථම හා එකම ශ‍්‍රී ලාංකිකයා වන මහාචාර්ය මොහාන් මුණසිංහයන්ගේ මූලිකත්වයෙන් කි‍්‍රයාත්මකවන විද්වතුන් සහ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත් කළේය. එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍ර ගණනාවක අතිදක්ෂ විශේෂඥයින් 43 දෙනෙකුගෙන් සමන්විත වූ එම කමිටුව විසින් සකස් කරන ලද තිරසර දැක්ම පිළිබඳ ලේඛනයෙහි පළමු කෙටුම්පත 2018 ජනවාරි මාසයේදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

මෙම තිරසර දැක්ම තුළින් සමෘධිමත් තරගකාරි සහ දියුණු ආර්ථිකයක් සහිත, හරිත හා සැපදායක පරිසරයකින් යුතු සහ සාමූහික සාමකාමී හා යුක්ති සහගත සමාජයකින් හෙබි තිරසාර, ඉහළ මැදි ආදායම්ලාභී රටක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරයි. එසේම විවිධ අංශයන් තුළ පවත්නා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමටත් රටක් වශයෙන් දියුණු වීමට අවශ්‍ය මංපෙත් විවර කරගැනීමටත් මෙම තිරසර දැක්මෙන් බලාපොරොත්තු වෙයි.

Read more

Local News