වර්ෂාවේ ආරම්භයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි වේ

Share

පසුගිය දිනවල ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අඩු වී තිබුණ ද, මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමඟ රෝගීන්ගේ වාර්තා වීම වැඩි වී තිබෙන බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

පසුගිය කාලයේ දී දිනකට ඩෙංගු රෝගීන් 150ක් පමණ රෝහලට ඇතුළත් කළ අතර මීට මාසයකට පමණ පෙර සිට එම සංඛ්‍යාව 30 දක්වා අඩු වූ බවත් නමුත් වර්ෂාවේ ආරම්භයත් සමඟ මේ වන විට දිනකට ඩෙංගු රෝගීන් 50 ක් පමණ රෝහලට ඇතුළත් වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ව විමසිලිමත්ව සිටීම වැදගත් යැයි ද දින දෙකකට වඩා කිසියම් පුද්ගලයකුට උණ රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස තමා ජීවත් වන අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු රෝගයෙන් වැළකී සිටිය හැකි යැයි ද ඒ මහතා පැවැසුවේය. ඩෙංගු රෝගයේ දී උණ බැස යාම යනු රෝගය සුව වීම නොවන බවත් සංකූලතාවන්ගේ ආරම්භය උණ බැස යාමත් සමඟ සිදු විය හැකි බවත් හෙතෙම පැවැසීය. ඩෙංගු රෝගයේ දී විවිධ අත්බෙහෙත් වෙත යොමු නොවිය යුතු අතර, වඩාත් වැදගත් වන්නේ රෝගය හඳුනාගත් වහාම සුදුසු ප්‍රතිකාර වෙත යොමු වීම යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය. ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල දී අපේක්ෂිත මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි හිස එසවීමේ අවදානමට මුහුණදීම සඳහා රට පුරා විශේෂිත මදුරු මර්දන සතියක් පසුගිය දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.

 

Read more

Local News