නවක වදයට සම්බන්ධ වන පිරිසට දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී – ජනපති

Share

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන එම වැඩපිළිවෙළට ඉඩ තැබිය නොහැකි අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් දඉදිරියේදී රජය විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට  ඊයේ  (07) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල වරම් ලැබුව ද නවක වදය හේතුවෙන් පසුගිය කාලය තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවු සිසුන්ගේ සංඛ්‍යාව 1500 කට වැඩි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි. එමෙන්ම පසුගිය වසර 25 තුළ නවක වදය හේතුවෙන් මිය ගිය සිසුන් සංඛ්‍යාව 25 කට ආසන්න බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉන් මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩාවට පත්වූ පිරිස දහස් ගණනක් බව කියා සිටියේය. සුළු පිරිසකගේ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාකාරකම් හේතුවෙන් බහුතරයක් දරුවන්ගේ අනාගතය විනාශවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බිලිගෙන තිබෙන අතර, රට භාරගැනීමට සිටින දරු පරපුර අතර ම්ලේච්ඡත්වය පැතිරවීමට දරන එම උත්සහයන් පරාජය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News