ජාතික රුක් රෝපණ වැඩසටහනට එක්වෙමින් පරිසරය වෙනුවෙන් වගකීම් ඉටුකරන්න – ජනපති

Share

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුමකර දීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ඇතුළු සමස්ත ජනතාවම මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන සමග අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (17) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

ඔක්තෝබර් මාසයට යෙදන ජාතික රුක් රෝපණ සතියේ දී දිවයින පුරා පැළ තිස් ලක්ෂයක් සිටුවීමේ පුළුල් ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පරිසර අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙන අතර, එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

පැළ සිටුවීම එක් දිනකට හෝ සතියකට සීමා නොවිය යුතු අතර සොබාදහමට ආදරය කරන මිනිසුන් ලෙස පුරුද්දක් වශයෙන් එය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

ජීවිතයේ සෑම විශේෂ කටයුත්තකදී ම පැළයක් සිටුවීමට ජනතාව හුරු කිරීම, පෙම්වතුන්ගේ දිනයේ දී එම යුවළ එක්ව පැළයක් රෝපණය කිරීම ආදි විවිධ වැඩසටහන් පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින භාවිතයට නොගන්නා ගොඩනැගිලි වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදීමට කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද විමසු ජනාධිපතිතුමා ප‍්‍රමුඛතාවය හඳුනාගනිමින් අදාළ ආයතනය වෙත ඒවා නිදහස් කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read more

Local News