සිංහරාජ වනාන්තරයේ, පරිවාර කුඩුමීරිය වැසි වනාන්තර‌යේ සිදුවන විනාශය

Share

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසි වනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.

ඔවුන් තවදුරටත් සඳහන් කරන්න‌ේ,

ශ්‍රී ලංකාවේ පවතින එකම ල‌ෝක උරුම වනාන්තරය වන සිංහරාජ රක්ෂිතය මේ වන විට හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් සමන්විත වුවද සිංහරාජය වටා සමන්විත පරිවාර රක්ෂිත සමඟින් අතීතයේදී මේ වනාන්තරය විශාල ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව තිබී ඇත. එම පරිවාර රක්ෂිත රැසක් බිහිවී ඇති අතර සිංහරාජය හා සමාන ඉහළ ජෛව විවිධත්වයක් මේ රක්ෂිත තුළද දැකිය හැකිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා  ඇත. මෙම රක්ෂිතය පෞද්ගලික සමාගමක් විසින් විස රසායන ද්‍රව්‍යය යොදාගනිමින් විනාශ කරන බවට ගම්වාසීන් පවසයි.

වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගත පිරිසක් මගින් යන්ත්‍ර යොදාගනිමන් සිදුරු කර ඒ තුලට විස රසායන ද්‍රව්‍ය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කල හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකිය.

දැනටමත් විශාල හානියක් සිදු වී ඇති කුඩුමීරිය වැසි වනාන්තරය වාහනයකින් ළඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් සැඟව අති භූමියකි. කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝෂණය කරන ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුලු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුළ ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය සෘජුවම දායක වේ. එසේම, වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ද්‍රව්‍ය ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කරන ජලමුලාශ්‍ර වලට ඇතුළු වීම තුලින් ඔවුන් විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.

මෙම රක්ෂිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සලකා බලා පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන විට සිදු කර ඇති අතර අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක්ද කර වාර්තාවන් සකසා ඒ පිළිබඳ අදාළ කටයුතු කෙරෙමින් පවතී. ඒසේ සිදුවන වටපිටාවක් තුළ මෙම වනාන්තරය විස රසායන මගින් විනාශ කිරීම බරපතල අපරාධයක් බවයි.

Read more

Local News