රාජ්‍ය සේවයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීමට පියවර

Share

රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (05) එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ අමෙරිකාවේ විශේෂඥයකු වන සුමිත් ද සිල්වා මහතා මෙම වැඩමුළුව මෙහෙයවූයේ ය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහි දී කියා සිටියේ, ඇමෙරිකාව වැනි රටවල රාජ්‍ය පාලන කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගන්නා නමුත් මෙවැනි දියුණු තාක්ෂණයක් අප මෙතෙක් භාවිතා කර නොහැති බවයි. හදිසි ආපදා අවස්ථාවල දී මෙවැනි තාක්ෂණයක් ඉතා ප්‍රයෝජනවත් වන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මකවන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් ලොව දියුණු රටවල භාවිතා කරන මෙවැනි තාක්ෂණික ක්‍රම අපේ රටේ රාජ්‍ය පාලනයටද යොදා ගත යුතු බව පැවසීය.

Read more

Local News