ජනපති සීෂෙල්ස් සංචාරය අරඹයි

Share

ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure) මහතා විසින් සිදුකළ ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේ ය.

අද (08) අලුයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිතුමා එහිදී එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් (Macsuzy Mondon) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබී ය.

සීෂෙල්ස් හි කැබිනට් හා මහජන සේවා පිළිබඳ රාජ්‍ය ලේකම් මොහොමඩ් අෆීෆ් (Mohamed Afif) සීෂෙල්ස් තානාපති සේවයේ ප‍්‍රධානී හා සීෂෙල්ස් රාජ්‍යයේ රුසියානු තානාපති ව්ලැඩිමීර් බෙලොස් (Vladimir Belous), ශ‍්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රාඩ් මෙදරික් (Conrad Mederic), සීෂෙල්ස් හි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක යන මහත්වරුන් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක‍්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඇති සීෂෙල්ස් රාජ්‍යය අපි‍්‍රකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. දෙරට අතර සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම තුළින් ශ‍්‍රී ලංකාවට නව ප‍්‍රතිලාභ අත්කර ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ යි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර හමුව අද පස්වරුවේ සිදුවන අතර, එහිදී රාජ්‍ය නායකයින් ඉදිරියේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කෙරෙන නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත ය.

Read more

Local News