ආර්ථිකය තවත් ලිහිල් කළ යුතුයි – අමාත්‍ය මංගල සමරවීර

Share

ආර්ථිකය කඩා වැටෙන ප්‍රවණතාවයක් නොමැති බවත් ආර්ථිකය තවත් ලිහිල් කළ යුතු බවත් වැසුණු ආර්ථිකය විසඳුමක් නොවන බවත් ඉන්ධන මිල සීමාව ඉක්මවා ගිය හොත් මිල සූත්‍රය කෙසේ වෙතත් සංවේදී ආණ්ඩුවක් ලෙස එහි බර දැරීමට සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට පිළිතුරු ලබාදෙමිනි.

වගකිව යුතු ඇමැතිවරයකු ලෙස කාගේ තොප්පිය වුවත් භාරගෙන වගකීමෙන් කටයුතු කරනවා. 2015 දී භාරගත්තේ කාලබෝම්බයක්. රාජපක්ෂ සමය රන්වන් යුගයක් ලෙස පෙන්වන්න උත්සහ කළා. අපි භාර ගත්තේ විශාල ලෙස කඩා වැටුණු රට අර්බුදයකට ගෙන ගිය ආර්ථිකයක්. රටේ ආදායම ඒ යුගයේ පහළ වැටුණා. රජයේ ආදායම 1990 වසරේ දී 21%ට තිබුණේ. සියයට 11.4% දක්වා අපි රට බාරගන්නකොට කඩා වැටී තිබුණේ. 2014 දී ශ්‍රී ලංකාව කලාපයේ රටවල් අතර අඩුම රාජ්‍ය ආදායම ලැබූ රට බවට පත් වී තිබුණා.

රජයේ වියදම්  රජයේ ආදායමට වඩා ඉහළ අගයක් ගත්තා. 2014 දී ආදායම හා වියදම අතර පරතරය රුපියල්  බිලියන 601 දක්වා වැඩි වී තිබුණා. පුනරාවර්ථන වියදම අඛණ්ඩව ඉහළ ගිය නිසා ප්‍රශ්න ඇතිවුණා. රුපියල අවප්‍රමාණය වුණාට ගෙවන්නේ ඇමෙරිකානු ඩොලර් වලින්. 2012 දී මීට වඩා අවප්‍රමාණයකට රජය මුහුණ දුන්නා. පසුගිය රජය ඩොලර් බිලියන 4.1ක් එළියට දැම්මා.  එසේ දමලත් 15%කින් රුපියල අවප්‍රමාණය වුණේ.

සියලු අපකීර්තිමත් වැඩ බැරි අතීතය අමතක කර අප ලෝක ආර්ථික අභියෝහයට  මුහුණ දී තිබෙනවා. අප අවප්‍රමාණය වළක්වන්න වියදම් කර තිබෙන්නේ ඩොලර් මිලියන 250යි. මේ නිසා රට මහා අර්බුදයකට යනවා
කියා කිව්වොත් මම පිළිගන්නේ නෑ. මේ අභියෝගය ජය ගන්නට අපි වටිනා විදේශ සංචිත භාවිත කළොත් අර්බුදයකට යනවා. බිලියන 1900කට වඩා මේ වසරේ ණය වශයෙන් ගෙවනවා. 2020 වසරේ දී රුපියල් බිලියන
4000ක් ගෙවනවා. මීට පෙර කවදාවත් මේ වගේ ණය කන්දක් ගෙවා නෑ. මේවායින්  83%ක් ගෙවන්නේ රාජපක්ෂ යුගයේ ණයයි.

මේ මහා ආර්ථික විනාශයක් කර ගැහුවේ. ආදායම කඩා වැටිලා තිබුණා. බාර දීලා ගියේ අලාභ ලැබූ මහ  බැංකුවක්. සම්පූර්ණයෙන් කඩා වැටුණු මහ බැංකුවක් බාර ගෙන මේ ගමන ආරම්භ කරලා, අභියෝග රාශියක්
මැද්දේ කටයුතු කරන්නේ.

මේ වසර ආරම්භය සමඟ ඩොලරය ශක්තිමත් වුණා. පොළී අනුපාතය වැඩි වුණා. අපේ රටවල මුදල් ඇමෙරිකාවට ගෙනිච්චා. අපේ විතරක් නොවේ සිදු වුණේ. සෑම රටකම මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. පිටරටින්  ගෙන්වන භාණ්ඩවලට විරුද්ධ නෑ. ආර්ථිකය තවත් ලිහිල් කළ යුතුයි. මෙයට විසඳුම වැහුණු ආර්ථිකයක් නොවේ. 2025 ප්‍රතිපත්තිය මත කිව්වේ, අපනයන ආර්ථිකයක් තුළ නිඳහස් ආර්ථිකයක්.

එදා තෙල් මිල් අඩු වුණත් තෙල් මිලේ වාසිය ජනතවට දුන්නේ නෑ. මේ වනවිට මිල සූත්‍රයක් ඉදිරිපත් කර තිබෙන්නේ.හෙටත් එනවා. අපි සංවේදී ආණ්ඩුවක්. සීමාවට වඩා වැඩි වුණොත් මොන සූත්‍රය තිබුණත් ආණ්ඩුව එය බාර ගන්නවා. ආර්ථිකය කඩ වැටෙන ප්‍රවණතාවයක් නෑ. කඩ වැටෙන්නෙත් නෑ. ඩොලරය වැඩි වීම අපේ වාසියකට හරව ගමු.

බඩු මිලත් අහස උසට නැගලා කියලා කිව්වා. කියන තරම් බඩු මිලේ ප්‍රශ්නයක් නෑ. අපි එය පාලනය කර තිබෙනවා.  ආර්ථිකය කඩා වැටුණා කියන ඒක බොරුවක්. ආර්ථිකය කඩා වැටුණා නම් මේ තරම් සංවර්ධනයක් සිදු
කරන්නේ කොහොමද ගම්පෙරළිය ව්‍යාපෘති 39666ක් රටපුරා ක්‍රියාත්මක වෙනවා. ගම්පෙරළියට බිලියන විස්සකට ආසන්න මුදලක් ගමට ගිහින් තිබෙනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ විසිහතරදහසකට පමණ ණය ලබාදී තිබෙනවා. කඩා වැටෙන ආර්ථිකයට මේවා කරන්න බැ.” යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News