ජනපති සීෂෙල්ස්හි වැඩසටහන් රැසකට සහභාගී ව‌ෙයි

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය සනිටුහන් කරමින් එරට ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් රෝපණය කිරීම ඊයේ (09) පෙරවරුවේ සිදු විය.

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා එහි දෙදින රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

සීෂෙල්ස්හි ප‍්‍රධාන අගනගරය වන වික්ටෝරියා නගරයේ පිහිටා ඇති ජාතික උද්භිද උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා සීෂෙල්ස් පරිසර අමාත්‍ය Waila Pe cocrow, ජාතික උද්භිද උද්‍යාන පදනමේ ප‍්‍රධාන විධායක නිලධාරි Raymond Brioche යන මහත්වරුන් විසින් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී.

1901 දී පමණ ස්ථාපිත කර තිබෙන මෙම උද්භිද උද්‍යානය අක්කර 15 ක භූමි භාගයක පිහිටා තිබෙන අතර එරට සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රධාන ස්ථානයක් වන මෙහි පරිසර අධ්‍යාපනය, පැළ සංරක්ෂණය සහ භූමි කළමනාකරණය පිළිබඳ ආදර්ශයන් රැසක් සපයා තිබේ.

ජනාධිපතිතුමා සීෂෙල්ස් සමුද්‍රීය අධ්‍යාපන ආයතනයේ ද නිරික්ෂණ චාරිකාවකට එක් විය.

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ගුණාත්මක සමුද්‍රීය පුහුණුවක් සහ වෘත්තීය සුදුසුකම් ලබාදෙන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස මෙම ආයතනය කි‍්‍රයාත්මක වන අතර එහි කළමනාකරණ කටයුතු ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු උසස් අධ්‍යාපන ආයතනය විසින් සිදු කරනු ලබයි.

මධ්‍යස්ථානයේ කටයුතු නිරික්ෂණය කළ ජනාධිපතිතුමා එහි අධ්‍යාපනය ලබන සිසු දරුවන් සමඟ ද සුහද කථා බහක නිරත විය.

ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සාගර ආර්ථික වර්ධනයට අදාළව වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කෙරෙන අතර ඒ පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරිණි.

ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඉන් අනතුරුව සීෂෙල්ස්හි Praslin දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිම්නීය ස්වභාවික රක්ෂිතය නැරඹීමට ද එක් වූහ.

Read more

Local News